“ජීවානුහරණයට ගැමා විකිරණ තාක්ෂණය භාවිතයට පියවර”
16 0

Posted by  in Latest News

• බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරය ළඟදීම සේවයට
• කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ ආදායම් ඉහළ යන ලකුණු
• පසු අස්වනු තාක්ෂණයටත් ගැමා විකිරණ යොදාගැනීමට සැලසුම්

ජීවානුහරණ ක්‍රියාදාමය සඳහා ගැමා විකිරණ භාවිතය අද ලෝකයේ පිළිගත් තාක්ෂණික ක්‍රමවේදයකි. වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍යයන්, ආහාර වර්ග, එළවළු සහ පළතුරු මෙන්ම කෘෂි බෝග ගබඩා කර කල් තබාගැනීමේදීත්, ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය ලෝකයේ බොහෝ රටවල් අද වනවිට භාවිතයට ගැනේ. අදාල භාණඩයට හෝ ආහාර ද්‍රව්‍යයට කිසිදු ආකාරයක හානියක් (හැඩයේ හෝ ගුණාත්මකභාවයේ) සිදුනොකොට, ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය භාවිතයෙන් ජීවානුහරණය සිදුකළ හැකි බවට ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය පෙන්වාදෙයි.

දේශීය නිෂ්පාදකයින්, පාරිභෝගිකයින් සහ අපනයනකරුවන් සඳහා ගැමා විකිරණ භාවිතයෙන් වෛද්‍ය උපකරණ, භාණඩ, ආහාර ද්‍රව්‍ය, එළවළු සහ පළතුරු ජීවානුහරණය කළ හැකි බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයක්, බියගම ආයෝජන කලාපයේ ඉදිකෙරෙන අතර එය මේ වසරේ තුන් වැනි කාර්තුව අවසානයට පෙර සේවයට කැපකරන බව පරමාණු ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විෙජ්වර්ධන මහතා පවසයි. මෙම සේවය ලබාගැනීමට සෘජුවම සම්බන්ධ ආයතන වල නිලධාරීන්, සේවා නියෝජිතයන් සහ නිෂපාදකයන් වෙනුවෙන් අද (15) කොළඹ අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති විශෙෂ වැඩමුළුවකට සහභාගි වෙමින් සභාපතිවරයා මෙම අදහස් පලකළේය.

මෙම සමුළුවේ විශේෂ දේශනයක් වෙනුවෙන් අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සියේ විශේෂඥ ආචාර්ය ඉවෝනා කලූස්කා මහත්මියද සහභාගි විය. දේශීය පසු අස්වනු තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා මෙහි දායකත්වය පිළිබඳව කරුණු දැක්වීම ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මියත්, ශ්‍රී ලංකාව තුළ මෙහි ක්‍රීයාකාරීත්වය සහ සේවා සැපයීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පරමාණු ශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා කුලතුංග මහත්මිය විසිනුත් සිදුකරන ලදී.

මෙම වැඩමුළුව සඳහා අදාල ක්ෂේත්‍ර සහ සේවාවන් ලබාගැනීමට අපේක්ෂිත 150 දෙනෙකු පමණ සහභාගි විිය. මෙම සේවය ශ්‍රි ලංකාවේ ඇරඹිමත් සමඟ තම භාණ්ඩ හා ආහාරපාන සඳහා වන විදේශීය වෙළඳපොළ වටිනාකම වැඩිකරගැනීමට හැකිවන බවද මෙහිදී අවධාරණය කෙරිණ.

ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන්ට අනුව ඉදිකෙරෙන මෙම යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියේ අධික්ෂණය යටතේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරෙනු ඇත.