“මහ පොළොව රැකගන්න නම් ආර්ථීක සංවර්ධනයත් පාලනය කළ යුතුයි”
08 0

Posted by  in Latest News

මිහිකත හෝරාව අඛණ්ඩව වසරක් පැවතියොත්, ලංවිමට රු. බිලියන 8 ක් ඉතිරි කරගත හැකි වුවත්, එමගින් ආර්ථීකයට වන පාඩුව රු. බිලියන 80 ක්.

  මුළු ලෝකයේම පාරිසරික තත්ත්වයන් අස්වාභාවික ලෙස වෙනස්වීමට ලක්වෙමින් තිබේ. මිනිසුන් ප්‍රධාන සියලූ ජීවීන් එහි බලපෑමට ලක්වන බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. ඊයේ සවස ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවති මිහිකත හෝරාව 2013 සමුළුව අමතමින්, අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. 

අපේ ජනතාව අඛණ්ඩව මිහිකත හෝරාව අවුරුද්දක කාලයක් පවත්වාගතහොත්, එමගින්  ලංවිමට ඉතිරි වෙන මුදල රු. බිලියන 8 ක්. හැබැයි ඒ පැය ආර්ථීකයට සිදුකරන පාඩුව රු. බිලියන  80 ක්. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් බව අමාත්‍ය රණවක මහතා පවසයි.

මේ සියළු තත්ත්වයන් හමුවේ වුවද, ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන අපේ මහ පොළොව රැකගන්න නම්, අපි අපේ ආර්ථීක සංවර්ධනයත් පාලනය කරගත යුතු යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. පොසිල ඉන්ධන නොමැති තවත් දශක 02, 03 කින් එහා ලෝකය ජයගන්න නම් දැන් දැන්ම විකල්ප හරිත තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය මත විශ්වාසය තබා කටයුතු කළ යුතුයි. මානව සංවර්ධනය, සමාජ ආර්ථීක සංවර්ධන දර්ශක, ප්‍රතිපත්තීන්  ඒ මත සැලසෙන ඒවා විය යුතුයි.

මේ සියල්ල විමසා බැලීම සඳහා ලෝකයේ රටවල් 152 කට මිහිකත හෝරාව විශාල පණිවිඩයක් ගෙනයනු  ලබයි. එය ප්‍රායෝගිකව, අර්ථවත්ව හා අඛණ්ඩව පිළිපැදීම හෙට ලෝකය රැකගන්න අප ගන්නා පුංචි උත්සාහයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

2013 වසරේ මිහිකත හෝරාව සැමරීම මාර්තු මස 23 වන සෙනසුරාදා රාත්‍රී 8.30 ත් 9.30 ත් කාලයේ සිදුකිරීමට සැලසුම් කර ඇත. 

මෙම අවස්ථාවට මිහිකත හෝරාවේ සම නිර්මාතෘ ඇන්සි රිඩ්ලි, ස්වභාවික සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන, බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල, මිහකත හෝරාවේ ශ්‍රී ලංකා නියෝජිත අබ්දුල් උවයිස් යන මහත්වරුන් සහ පාරිසරික, ව්‍යාපාරික සහ විද්වතුන් පිරිසක් සහභාගී විය.