විදුලිය නොමැති කහවත්තේ සියළුම ගම්මාන පැය 72 න් බලගන්වයි.
11 0

Posted by  in Latest News


අවම කාලසීමාවකින් ඉදිවූ පළමු ව්‍යාපෘතිය නිලඳුරට.

දිවා රෑ නොබලා ඉටුකළ මෙහෙයට ලංවිමට, විදුලමු ලංකා රත්නපුර කාර්ය මණ්ඩලයට ඇමතිගෙන් තුති.

අභිරහස් කාන්තා ඝාතන සිද්ධීන් 15 කින් ප‍්‍රදේශවාසීන් භීතියට පත්කල කහවත්ත, කොටකෙතන, නිලඳුර ප‍්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව පිණිස ඉදිකළ නිලඳුර ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රමය, පසුගියදා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර මහතා අතින් ජනතා අයිතියට පත්කෙරිණ.

පේ‍්‍රමලාල් ජයසේකර අමාත්‍යවරයා, පසුගිය දිනෙක කහවත්ත ප‍්‍රදේශයේ ඇතිවී තිබූ කැලඹිලිකාරී ස්වභාවය පිළිබඳ කරුණු විමසීම වෙනුවෙන් නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වු අතර එහිදී ප‍්‍රදේශවාසීන් විසින් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම විදුලි යෝජනා ක‍්‍රමය ආරම්භ වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ දින තුනක් වැනි කෙටි කාලසීමාවකදී ව්‍යාපෘති කටයුතු නිමකිරීමට සැලසුම්කර තිබීමයි. මෙම විදුලි යෝජනා ක‍්‍රමයේ වැඩකටයුතු, ඉරාන ණය ආධාර යෝජනා ක‍්‍රමය යටතේ, විදුලමු ලංකා රත්නපුර ව්‍යාපෘති කාර්යාලය සහ ලංවිම නිලධාරීන් විසින් ඉටුකරන ලදී. මේ සඳහා වැයවූ මුදල රු. ලක්ෂ 117 ක් වශයෙන් ඇස්තමේන්තු කර තිබේ. මෙමඟින් ආවරණය වන මුළු පවුල් සංඛ්‍යාව 260 කි.

මෙම අවස්ථාවට සහභාගීවූ නියෝජ්‍ය අමාත්‍යවරයා ……
රටේ සිදුවන කිසිදුු සංවර්ධනයකට අපි ජාති, කුල, ආගම් භේද ගාවගන්නෙ නැහැ. රටේ සිදුකරන සෑම සංවර්ධන කාර්යයකම ප‍්‍රතිලාභ සෑම වැසියෙකුටම සමසේ ලබාදීම තමයි අපේ රජයේ ප‍්‍රතිපත්තිය. යම් යම් පටු මතිමතාන්තර මත උද්ගතවන මේ විෂමාකාරී තත්ත්වයන් යටපත් කිරීමට රජයක් වශයෙන් ගතයුතු සෑම පියවරක්ම මේ වනවිට අරගෙන තිබෙනවා. විශේෂයෙන් මේ ප‍්‍රදේශයේ දෙශපාලනාධිකාරියේ නියෝජිතයෙකු හැටියට මා හට පැවරී ඇති වගකීම, කුමන බාධක පැමිණියත් නොපිරිහෙලා ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ප‍්‍රදේශයේ පසුගිය වකවානුව තුළ සිදුවූ අමානුෂික අභිරහස් ඝාතනයන් ප‍්‍රදේශයෙන් තුරන් කරන්න, අද අපි ලබාදෙන විදුලියත් යම් හෝ පිටිවහලක් වේ යැයි මම විශ්වාස කරනවා. මෙම ව්‍යාපෘතිය පැය 72 ක් වැනි ඉතාම කෙටි කාලසීමාවකදි නිමකරන්න, ලංවිම සබරගමුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු සේවක පිරිසත්, විදුලමු ලංකා රත්නපුර ව්‍යාපෘති අධ්‍යක්ෂ එම්. ආර්. රණතුංග මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් විශාල කැපවීමකින් දිවා ? නොබලා කටයුතු කළා. ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මම ඔවුන්ට කෘතවේදීත්වය පළකර සිටිනවා. කහවත්ත ප‍්‍රදේශයේ පමණක් නෙමෙයි, මුළු රත්නපුර දිස්ත‍්‍රික්කයේම තවමත් විදුලිය නොමැති දුෂ්කර ගම්මානයන් හඳුනාගනිමින්, අදාල ගම්මාන වෙනුවෙන් විදුලිය ලබාදීමේ කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ලංවිම විශේෂ නිලධාරී කණ්ඩායමක් යෙදවිමට මා විසින් මේ වනවිට අදාල අංශ දැනුවත්කර තිබෙනවා. මේ සෑම කටයුත්තක් වෙනුවෙන්ම විදුලිබල ඇමතිතුමා ලබාදෙන මඟපෙන්වීම, වෙන කොයිම කවදාකටත් වඩා ඉහළයි යන්න අද මුළු ලංංකාවම දන්නවා. මේ වෙනුවෙනුත් එතුමා ලබාදුන් දායකත්වය මම අගයකර සිටිනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට රත්නපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා, ලංවිම කලාප අංක 03 අතිරේක සාමාන්‍යාධිකාරී මොහිදීන් මහතා ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරියත්, ප‍්‍රදේශවාසීන් විශාල පිරිසකුත් සහභාගී වූහ.