“වැඩිවන විදුලි ඉල්ලූමත් සමඟ ලොව ඕනෑම රටකට, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ අයිතිය තියෙනවා”
05 0

Posted by  in Latest News

ඇමති චම්පික රණවක, පරමාණුක සමස්ථානික තාක්ෂණය පිළිබඳ සමුළුවේදී පවසයි

• කාලගුණ විපර්යාස හේතුවෙන් සාගර පද්ධතියට වන බලපෑම සොයාබැලීමට පරමාණු තාක්ෂණය
• ලෝක කාලගුණ විපර්යාසයට බලපෑම් එල්ලකරන පොසිල ඉන්ධන ආශ්‍රිත බලශක්තියෙන් දුරස්වීම සඳහා බොහෝ රටවල් න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට පියවර ගැනේ.

අද වනවිට ලෝක බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරාගන්නේ ගල් අඟ=රු, ඛණිජ තෙල් වැනි පොසිල ඉන්ධන භාවිතයෙන් බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි. මේ හේතුවෙන් කාලගුණ-දේශගුණ විපර්යාස අසාමාන්‍ය ලෙස සිදුවෙමින්, ලෝකයේ රටවල් බොහෝමයකට බලපෑම් එල්ලකරමින් තිබේ. මේ  තත්ත්වයත් සමග බලශක්ති උත්පාදනය වෙනුවෙන් න්‍යෂ්ටික තාක්ෂණය භාවිතයට යොමුවීම 1990 වර්ෂයේ සිට වැඩි ප්‍රවණතාවක් දක්වයි. මෑත කාලයේ සිදුවූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අනතුරත් සමඟ මේ පිළිබඳ වැඩි කතාබහක් සමාජය තුළ ඇතිවිය. කෙසේ වෙතත් ලෝකයේ දිනෙන් දින වැඩිවන විදුලි ඉල්ලූම සපුරාලීම සඳහා ලොව ඕනෑම රටකට පරමාණු ශක්තිය යොදාගැනීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත. ඉන්දියාව ඒ මත පිහිටා තම රට තුළ මේ වනවිටත් කූඩන්කුලම් ඇතුළු න්‍යෂ්ටික බලාගාර 07 ක් ඉදිකොට ඇත. යම් හෝ අවස්ථාවක ශ්‍රී ලංකාව තුළද න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වන්නේද, එය ක්‍රියාත්මක කිරීම සඳහා රටක් වශයෙන් අපට අයිතියක් ඇත. රටක් විදියට ගන්නා තීරණ වලට විරුද්ධ වීමට කලාපයේ හෝ අනෙක් කිසිදු රටකට අයිතියක් නැති බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි. දැනුම සහ තාක්ෂණය නිවැරදි ආකාරයෙන් යොදාගෙන, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම, සෑම රටකම වගකීම සහ යුතුකම බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි. 

පරමාණුක සමස්ථානික තාක්ෂණය පිළිබඳ සමාරම්භක සමුළුව ඇමතූ අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාවට, අවට කලාපයෙන් එල්ලවන න්‍යෂ්ටික විකිරණශීලී අවදානමෙන් මිදීම සඳහා සියළු මූලික පියවර, ශ්‍රී ලංකා රජයත්, ඒ හා සෘජුවම සම්බන්ධ පරමාණුක ශක්ති අධිකාරියත් මේ වනවිට ගෙන ඇති බවයි. ආරක්ෂණය සඳහා වන ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වීය සාකච්ඡාද, ඉන්දියාව ප්‍රමුඛ කලාපයේ අනෙකුත් රටවල් සමඟ මේ වනවිටත් සිදුකර තිබේ. සිදුවන ඕනෑම න්‍යෂ්ටික විකිරණශීලී තත්ත්වයක් හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් න්‍යෂ්ටික ආරක්ෂණ ක්‍රමවේද, දැනටමත් ශ්‍රී ලංකාව අනුගමනය කර ඇති අතර එය සක්‍රියව ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. 

පරමාණුක සමස්ථානික තාක්ෂණය උපයෝගි කරගනිමින් කාලගුණික විපර්යාස හේතුවෙන් සාගර පද්ධතියට සිදුවිය හැකි සහ සිදුවන හානි පිළිබඳව අධ්‍යයනය වෙනුවෙන් ශ්‍රි ලංකාව තුළ යෝජිත ක්‍රියාපිළිවෙල සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද (21) පැවති පළමු වැඩමුළුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළේය. මෙම අවස්ථාවට ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්විය. යෝජිත වැඩපිළිවෙල සඳහා පරමාණු ශක්ති අධිකාරිය, නාරා ආයතනය සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධධිකාරිය එක්ව කටයුතු කරයි. ශ්‍රී ලංකාව අවට සාගර කලාපය ආශ්‍රිත තොරතුරු එක්රැස්කිරීම සඳහා පළමු අධික්ෂණ චාරිකාව ලබන 23 වනදා මීගමුව කලපුව ආශ්‍රිතව සිදුකිරීමට නියමිතයි. එහිදී කඩොලාන සහ ආශ්‍රිත ජෛවීය කලාපයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය සඳහා කටයුතු කරන බව පරමාණු ශක්ති අධිකාරිය පෙන්වාදෙයි. මෙම වැඩසටහන සඳහා රුහුණු විශ්ව විිද්‍යාලයීය ධිවර හා සමුද්‍ර විද්‍යා තාක්ෂණ පීඨයද සහයෝගය ලබාදෙයි. නොවැම්බර් 26 වනදා කොළඹ සහ ගල්කිස්ස අවට මුහුදු පෙදෙස් වල තාක්ෂණික අධ්‍යයනය සිදුකිරීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අන්තර්ජාතික පරමාණු බල ඒජන්සියේ මෙහෙයවීම මත ඔස්ටේ්‍රලියානු සහ ප්‍රංශ විශ්ව විද්‍යාල වල අදාල විෂය පිළිබඳ මහාචාර්යවරුන් දෙදෙනෛකු ලබාදී ඇත.