“දැන් ලෝකයේ උදාවෙලා තියෙන්නේ ආසියාවේ/ ඉන්දියානු සාගරයේ යුගයයි”
05 0

Posted by  in Latest News

• ආර්ථීක, තාක්ෂණික සහ යාන්ත්‍රික බලය අතින් යුරෝපය අභිබවා ආසියාව ඉදිරියට ඇදෙයි.
• ගමේ දරුවන්ට හොඳ ප්‍රතිඵල අරන් ඉදිරියටම යන්න, ටියුෂන් අධ්‍යාපනය අද හේතුවෙලා.

ආසියානු රටවල්, කිසිම රටක් ආක්‍රමණය කිරීමට පෙළඹි නැහැ. ආක්‍රමණශීලී වූවා නම් කොලොම්බස්ට ප්‍රථම, ඊට වසර 100 කට පෙර, කොලොම්බස්ගේ නැවට වඩා 17 ගුණයක විශාල නැවකින් ලොව වටා ගිය චෙන් හී නමැති චීන ජාතිකයාගෙන් පසු එම ආක්‍රමණ යුගය පටන්ගන්න තිබුණා. 

ඇමති චම්පික රණවක පවසයි

1930 දශකයේ කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය අරඹා, රටේ සැමටම අධ්‍යාපනයේ අයිතිය එකසේ තහවුරු කරන්න උත්සාහ දැරුවත්, එය කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වැනි ප්‍රධාන නගර කිහිපයකට පමණක් සීමා වුණා. එහෙත් අද වනවිට ටියුෂන් අධ්‍යාපනය හේතුවෙන් ගමේ දරුවන්ටත් විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල ගන්න පුළුවන් වෙලා තියෙනවා. අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රවාදී කරමින් මේ විප්ලවය සිදුකර, අධ්‍යාපනයේ නිම්වළළු පුළුල් කළ කණඩායමේ පුරෝගාමියෙක් ලෙස සක්‍යා අධ්‍යාපන ආයතනයේ අධිපති බණ්ඩාර දිසානායක මහතා හැඳින්විය හැකි බව අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළෙ අද (19) උදෑසන බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, තොරතුරු සහ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ 540 දෙනෙකු වෙනුවෙන් ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. 

තම විශ්ව විද්‍යාල ජීවිතය අවදිකළ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවට ජපන් ආධාරයක් වශයෙන් පිරිනැමූ පළමු පරිඝණකය භාවිතකිරීමට තමන්ටත් අවස්ථාවක් උදාවූ බවයි. මොරටුව විශ්ව විද්‍යාලයේ එවකට කුලපතිව සිටි ආතර් සී. ක්ලාක් මහතාගේ මෙහෙයවීම යටතේ එය සිදුවී ඇත. පන්ති කාමරයක් තරම් විශාල යන්ත්‍රයක් තුළට ගොස් එදා සිසුන් 28 දෙනෙකු පරිඝණක ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධය ලබාගත් බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළෙය. අද පරිඝණකය තාක්ෂණයත් සමඟ ඉතා දියුණු මට්ටමකට විකාශය වී ඇත. අද වනවිට මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් 700 ක් තොරතුරු තාක්ෂණ උපාධිය සඳහා පෙනීසිටී. පරිඝණකයේ ඉදිරි විප්ලවය නම් කොන්ටන් පරිඝණකය බිහිවීම බව අමාත්‍යවරයා පවසයි. දෙකේ බලයක් සහිතව දත්ත සහ කාර්යක්ෂමතාව උසස් පරිඝණකයක්, කොන්ටන් තාක්ෂණය ඔස්සේ අනාගත ලෝකයට බිහිවීමට නියමිතය. මීට වසර 20 කට ඉහතදී එන්.එල්.පී. තාක්ෂණය ඔස්සේ මිනිස් හැසිරීම පිළිබඳව ඇගයුමත්, අද වනවිට ස්නායු වෛද්‍ය ක්ෂේත්‍රයේ නියුරෝන හරහා කරන පරිඝණක ආශ්‍රිත තොරතුරු හුවමාරුවත් මෙම ක්ෂේත්‍රයේ යහපත් විකාශයන්ට සලකුණු වේ. 

ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ ආසියාවත්, ශ්‍රී ලංකාවත් බද්ධ වෙමින් කටයුතු කරයි. අද අපේ රටේ හැම ගමකටම විදුලිය, පාසල්, මහාමාර්ග, රෝහල් පහසුකම් ලැබී ඇත. කලාපයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම, අප කොයිකාටත් සතුටුවිය හැකි කරුණක් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. ආසියානු රටවල් ආක්‍රමණශීලී ස්වාභාවයක් අනුගමනය කළා නම් මීට දශක කිහිපයකට පෙර ආසියානු රටවල් ලෝකයේ බලවත් රටවල් වන බව අමාත්‍යවරයා පවසයි. ලෝකය වටේ මුලින්ම ගියේ කොලොම්බස් නොවන බවත්, ඊට වසර 100 කට පෙර කොලොම්බස්ගේ නැවට වඩා 17 ගුණයකින් විශාල නැවක් ආධාරයෙන් චෙන් හී නමැති චීන ජාතිකයා ලොව වටා ගිය බවත් දැන් ලෝකය ඉදිරියේ ඇති සත්‍යයක් යැයි අමාත්‍ය රණවක මහතා අවධාරණය කරයි. 

දැන් දැන් ඉතිහාසය වෙනස්වෙනවා. 19 වන සියවසේ බලය අත්ලාන්තික් සාගරය වටා පිහිටි යුරෝපය සහ ඇමෙරිකාව සතුවුණා. 20 වන සියවසේ බලවතුන් බවට පත්වූයේ පැසිෆික් සාගරය අවට සෝවියට් දේශය, ජපානය සහ ඇමෙරිකාවයි. 21 වන සියවසේ සාගරය සහ බලය පවතින්නේ ඉන්දියානු සාගර කලාපය අවට පිහිටි ආසියාතික රටවල් වලට බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. ඉරානයේ සිට ඉන්දුනීසියාව හරහා ඉන්දියාවට යන වැඩිම ආර්ථික ගණුදෙනු සිදුවන, වැඩිම නැව් සංචරණය වන, වැඩිම ගුවන් ගමන් සහිත, වැඩිම තොරතුරු තාක්ෂණයක් භාවිතකරන රටවල් බවට ආසියාතික රටවල් සිය බලය ලොව හමුවේ තබන බව අමාත්‍ය චම්පික රණවක මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.