ගමේ විදුලිය ගමටම ලබාදීම ඇරඹේ.
01 0

Posted by  in Latest News

*ශ‍්‍රි ලංකාවේ පළමු ප‍්‍රජා ජල විදුලි බලාගාරය ඊයේ (03) අතුරලියේදී විවෘත කෙරිණ
*විදුලිය නිෂ්පාදනයෙන් ගමේ ජනතාව ලැබූ පළමු ආදායම, අමාත්‍යවරයා අතින් කදුඅරුවන්දොල ගම්වාසීන්ට 

ජනතාවගෙන් උපත ලබලා, ජනතාව වෙනුවෙන් විදුලිබලය සපයන පද්ධතියක් බවට, ජාතික විදුලිබල පද්ධතිය පත්කරනවා
ඇමති පාඨලී පවසයි.

‘‘විවිධ රට වල කුඩා ජල විදුලි යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කෙරෙනවා. නමුත් අපේ රටේ තමයි එවැනි ජල විදුලි යෝජනා ක‍්‍රම ඉතාම සාර්ථකව ක‍්‍රියාත්මක වෙන්නේ. දැනට එවැනි කුඩා ජල විදුලි යෝජනා ක‍්‍රම 100 ක් පමණ පුද්ගලික ආයතන මඟින් ක‍්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරියේදී තව 200 ක් පමණ ක‍්‍රියාවට නංවන්න නියමිතයි. විවිධ බාධා, ගැටළු මධ්‍යයේ වුවත් ක‍්‍රියාත්මක කෙරෙන මෙවැනි කුඩා ජල විදුලි යෝජනා ක‍්‍රම, ජාතික විදුලිබල පද්ධතියට මහත් ශක්තියක්. මේ නිසා ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ අපි අවස්ථාව ලබාදීලා තියෙනවා, අපේ රටේ ඉතාමත්ම දුෂ්කර, පරිසර සංවේදී ප‍්‍රදේශ වල ජීවත්වන, තමන්ගේ ස්ව ශක්තියෙන් විදුලිබලය නිපදවාගෙන, රටට බරක් නැතිව ජීවත්වන, රටට ආදර්ශයක් සපයන ග‍්‍රාමීය ජනතාවට අත්වැලක් හැටියට, ඒ අය විසින් නිපදවන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට විකුණන්න. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගෙන් යැපෙන, ජනතාවට මෙහෙවර කරන, ජාතික විදුලිබල පද්ධතියක් ඇතිකරන්න’’ යනුවෙන් අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ඊයේ (03* පැවති අතුරලිය කදුඅරුවන්දොල කුඩා ජල විදුලි බලාගාරය මඟින් ජනනය කෙරෙන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමේ විශේෂ අවස්ථාවට සහභාගිවෙමිනි. 

මීට වසර ගණනාවකට ඉහතදී, යාමට ඒමට පාරක්වත් නොතිබූ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ අතිදුෂ්කර ගම්මානයක් වන අතුරලිය ගමට සිහිනයක්ව පැවති විදුලිය ලබාගැනීම සඳහා ගමේ ජනතාවගේ ශ‍්‍රමය, ධනය සහ අධිෂ්ඨානය මත, කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිවිය. එක් නිවසක් සඳහා විදුලි පහන් 04 ක් සහ රූපවාහිනිය නැරඹිම සඳහා ප‍්‍රමාණවත් වන පරිදි ගමේ නිවාස 68 කට එමඟින් විදුලිය ලබාගත හැකිවිය. මීට වසර 02 කට පමණ පෙර ‘‘ගමට විදුලිය‘‘ වැඩසටහන යටතේ අතුරලිය ග‍්‍රාමයට ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාදීමත් සමඟ මෙම කුඩා ජල විදුලි බලාගාරය වසාදමන ලදී. 

නමුත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක ‘‘ග‍්‍රාම ශක්ති’’ ගමෙන් රටට ජාතික වැඩසටහන යටතේ මෙම අතුරලිය කදුඅරුවන්දොල කුඩා ජල විදුලි බලාගාරය ප‍්‍රතිසංස්කණය කර, ඉන් නිපදවන කිලෝ වොට් 18 ක ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම ඊයේ (03) විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ. මෙම බලාගාරය මඟින් මසකට විදුලි ඒකක 15,000 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන අතර එමඟින් රු. ලක්ෂයක මුදලක් මාස්පතා මෙම ගම්වැසියන්ට ලැබෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වාදෙයි. එහි ප‍්‍රථම චෙක්පත විෂයබාර අමාත්‍යවරයා අතින් ගම්වැසි කාන්තාවක් වෙත ඊයේ ප‍්‍රදානය කෙරිණි. 

පාරිසරික සම්පත් වල වටිනාකම මැනවින් වටහාගනිමින්, පරිසර හානිය අවම වන පරිදි, ගමේ සම්පත් වලින් ගමේ ජනතාවටම උපරිම ප‍්‍රයෝජනය ලැබෙන ලෙස ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම වතාවට මෙවැනි ප‍්‍රජා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම අමාත්‍යවරයාගේ විශේෂ පැසසුමට ලක්විය. තවද ජාතික විදුලිබල පද්ධතියෙන් බැහැර දුෂ්කර ගම්මාන වල අඳුර පමණක් නොව, ජීවන බරද ජයගැනීමට මෙම ගම්වාසීන් විසින් සපයා ඇති ආදර්ශය අගය කළ යුතු බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගේ උපදේශක අශෝක අබේගුණවර්ධන, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කිත්සිරි දිසානායක, අධ්‍යක්ෂ ජෙනරාල් තුසිත සුගතපාල, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී එච්.එස්. සෝමතිලක, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළුව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය. 

මෙම අවස්ථාවට සමගාමීව පසුගිය වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ ශ‍්‍රී ලංකාවට වැසි නොලැබීම පදනම් කරගනිමින්, වැසි බලාපොරොත්තුවෙන් සමන් දේවාලයට වූ බාරය ඔප්පු කිරීමේ අරමුණෙන් අමාත්‍යවරයා විසින් සමන් දේවාලය වැඳපුදා ගන්නට යෙදුනි. එහිදී පොරොන්දු ප‍්‍රාකාරව ශ‍්‍රී දළදා මාලිගාවේ ආලෝක පද්ධතියට සමාන ආලෝක පද්ධතියක්, රත්නපුර සමන් දේවාලයේ පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු, අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ අතර ඒ සඳහා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර මහතාද සහභාගි විය.