ලෝක දේශගුණ විපර්යාසය පිළිබඳව සාකච්ඡුා කිරීමට, ලෝකයේ පරිසර හිතකාමී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු එක්රැස්වේ.
05 0

Posted by  in Latest News


x මීට වසර 20 කට පෙර ලෝකයේ දේශගුණ විපර්යාස සම්බන්ධව පලකළ අනාවැකි 100% ක් සත්‍ය වී ඇති බවට තහවුරු වේ.
x දේශගුණික විපර්යාස වලට ප‍්‍රධානතම හේතුව පොසිල ඉන්ධන භාවිතයයි.

අද වනවිට ලෝකයේ සෑම රටකටම පාහේ දේශගුණික විපර්යාසයේ දරුණු බලපෑම් එල්ලවීී ඇත. මීට වසර 20 කට පෙර දේශගුණික විපර්යාස ප‍්‍රශ්නය පිළිබඳව ලෝක මට්ටමේ සංවාදයක් ඇතිවූ අතර එහිදී පලකළ අනාවැකි, වර්තමානයේ යථාර්තයක් බවට පත්වී ඇති බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ආසියානු, අප‍්‍රිකානු සහ මැදපෙරදිග රටවල් 10 ක පරිසර හිතකාමී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැුස්වන, ලෝක දේශගුණික පාර්ලිමේන්තු සභාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මෙම අවස්ථාව අද (16) පෙ.ව. 8.30 ට වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්විණ. 

දේශගුණික විපර්යාසය දියුණු-නොදියුණු භේදයකින් තොරව, දුප්පත්-පොහොසත් භේදයකින් තොරව, දේශපාලන හෝ පක්ෂ පාට භේදයකින් තොරව සෑම රටකටම පොදු තත්ත්වයක් බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. මෙහිදී ලෝකයේ සියළුම දේශපාලන නායකයින්ගේ පොදු එකඟතාවක් ඇතිකරගැනීම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සඳහා ලෝකයේ සිටින සියළුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එක්විය යුතුව ඇත. ඒ සෑම රටකම අවසන් තීරණය දේශපාලනික තීරණයක් වන නිසාවෙන් බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී. 

අද වනවිට සෑම රටක්ම දිගින් දිගටම අඛණ්ඩ ආර්ථීක වර්ධන වේගයක් පසුපස හඹායයි. මේ සඳහා දළ ජාතික නිෂ්පාදනය වැඩිකරගත යුතුව ඇත. එහිදී ස්වාභාවික සම්පත් වැඩි වශයෙන් භාවිතකිරීම සේම වැඩි අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් සහ කාබන් විමෝචනයක් පරිසරයට මුක්ත කිරීමක් සිදුවේ. සංවර්ධනයට සාපේක්ෂව මෙම ක‍්‍රියාදාමයද වැඩිවන හෙයින් සෑම රටක්ම දේශගුණික විපර්යාසයේ උපරිම තර්ජනයට ලක්වෙමින් තිබේ. මෙය ශ‍්‍රී ලංකාවට සේම දියුණු ඇමෙරිකාවටත් එක සේ බලපාන සාධකයකි. සංවර්ධනය වෙනුවෙන් වැඩි බලශක්ති පරිභෝජනයක් සිදුකෙරේ. ඒ සඳහා වැඩි පොසිල ඉන්ධන භාවිතයකට යොමුවීම අද ලෝකයේ සාමාන්‍ය තත්ත්වයක් වී ඇත. වැඩි වැඩියෙන් බලශක්තිය සඳහා පොසිල ඉන්ධන භාවිතය, දේශගුණික විපර්යාස ප‍්‍රශ්නය තීව‍්‍ර කරන සාධකයක් බව අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය. 

මෙම අවස්ථාවට සහභාගි වූ නිවර්තන කලාපීය රටවල් වන ආසියාවේ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයේත්, අප‍්‍රිකානු සහ මැදපෙරදිග රටවල් හතේත් පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පුනර්ජනනීය බලශක්තිය ප‍්‍රවර්ධනය වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙසයි. පුනර්ජනනීය බලශක්තිය උපරිම ලෙස භාවිතයට නම් කලාපීය රැුහැන් පද්ධතියක් ඉදිකිරීමේ ඇති අවශ්‍යතාව, මෙම අවස්ථාවට එක්වුණු 30 දෙනෙකුගෙන් සමන්විත ලෝක පරිසර හිතකාමී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සාකච්ඡුාවට ලක්විය. මේ සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුද සහභාගි විය.