“බලශක්ති සංරක්ෂණ ජාතික වැඩසටහනට බාලදක්ෂ ව්‍යපාරයත් එකතුවෙයි”
12 0

Posted by  in Latest News

• බලශක්ති සංරක්ෂණය බාලදක්ෂ ප්‍රවීණතා විෂයයක් ලෙස හඳුන්වාදෙයි

• බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම එළිදක්වයි

ලෝකයේ රටවල් 150 ක, මිලියන 40 ක පමණ බාලදක්ෂ ප්‍රජාවක් ව්‍යාප්තව සිටී. ශ්‍රී ලංකාව තුළ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් බාලදක්ෂයින් 50.000 ක් පමණ කටයුතු කරයි. ක්‍රියාකාරී වශයෙන් පාසල් ව්‍යාපෘතියක් ලෙස පවතින බාලදක්ෂ ව්‍යාපාරය තුළින් බලශක්ති සංරක්ෂණය සඳහා මහජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පසුගියදා කටයුතු කළෙය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ එක්ව ආරම්භ කළ මෙම වැඩසටහන මඟින් ඉදිරියේදී කලාප මට්ටමින් කඳවුරු සහ බලශක්ති සංරක්ෂණ වැඩමුළු පැවැත්වීමට සැලසුම් කර ඇත. 

මීට සමගාමීව බාලදක්ෂ ව්‍යාපාරය සඳහා බලශක්ති සංරක්ෂණ ප්‍රවීණතා විෂය නිර්දේශයක් හඳුන්වාදීමද මෙහිදී සිදුවිය. ඒ අනුව එම විෂය නිර්දේශය නිසි පරිදි සම්පූර්ණ කරන ඕනෑම බාලදක්ෂයෙකුට බලශක්ති සංරක්ෂණය සඳහා වන බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම හිමිකරගත හැකිය. පැළදීමට යෝජිත ප්‍රවීණතා පදක්කම එළිදැක්වීමද අමාත්‍ය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. පසුගිය සතිය පුරාවට බලශක්ති සංරක්ෂණය පිළිබඳව සහ බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම් පිරිනැමීම සඳහා වන සුදුසුකම් ඇගයීමට පුහුණුව ලත් බාලදක්ෂ උපදේශකයින් ඇගයීමද මෙහිදී සිදුවිය. විශාකා විද්‍යාලයේ චිරානි දිසානායක ගුරුතුමිය විසින් රචිත“මම හොඳ බලශක්ති සංරක්ෂකයෙක් වෙමි” කෘතිය එළිදැක්වීමද මෙම කඳවුරේදී සිදුවිය. 

සමාරම්භක උත්සවය ඔක්තෝබර් 07 වන සෙනසුරාදා බණ්්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර සහ අවට එළිමහන් භූමියේ බාලදක්ෂ කඳවුරක් ලෙස සංවිධාන කර තිබිණ. එම අවස්ථාවට සහභාගි වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ, ඉතිහාසය පුරාවටම අධ්‍යාපනයට පමණක් නොව, සමාජයීය සහ මානව සුබසාධනය වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක තාරුණ්‍යයේ ජවය පිරි බාලදක්ෂ ව්‍යාපාරය, බලශක්ති සංරක්ෂණය සම්බන්ධව එක් එක් පුද්ගලයාට සෘජුවම දැනුවත් කළ හැකි මාධ්‍යයක් බවයි. ඒ සඳහා අත්වැල් බැඳගැනීම සම්බන්ධව බාලදක්ෂ ව්‍යාපාරයේ ජාතික කොමසාරිස්තුමා සහ සමස්ත බාලදක්ෂ ප්‍රජාවට විශේෂ ස්තුතියක්ද පලකළේය.  

අද වනවිට වික්ටෝරියා ජලාශය ඉතා දුර්වල ජල විදුලි උත්පාදනයක් දක්වා සීමාවෙද්දී, මහජන කැපවීම මත විදුලිය සංරක්ෂණයට පෙළඹවීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් තවදුරටත් පවත්වාගත හැකිවී තිඛෙනවා. මෙය ඉදිරියටත් පවත්වාගැනීමට නම් අප මිනිසුන් මත විශ්වාසය තබා කටයුතු කළ යුතුයි. සැවොම එක්වී තම තමන්ගේ යුතුකම බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරනවා නම් මෙම අභියෝගය ජයගැනීමට වැඩි අවස්ථාවක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.