වසර 2020දී විදුලි සැපයුමෙන් 20%ක් පුනර්ජනනීය බලශක්ති දායකත්වයෙන් ලබාගන්නවා.
09 0

Posted by  in Latest News

වසර 2020දී විදුලි සැපයුමෙන් 20%ක් පුනර්ජනනීය බලශක්ති දායකත්වයෙන් ලබාගන්නවා.


පාඨලී චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය,  විදුලිබල අමාත්‍යාංශය මූලික අරමුණු දෙකක් ඔස්සේ මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. ඉන් පළමුවැන්න තමයි වසර 2012දී දිවයිනේ විදුලියනය 100%ක් දක්වා වර්ධනය කිරීම. මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ඉතාමත් කඩිනමින් සිදුවෙමින් පවතිනවා. අනෙක් අරමුණ වන්නේ වසර 2020දී මූලික විදුලි සැපයුමෙන් 20%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ අද (2011.08.09) විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී විදුල්කා බලශක්ති ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන විදුල්කා බලශක්ති ප්‍රදර්ශනයේදී දිවයිනේ සැම ක්ෂේත්‍රයකම බලශක්ති පාරිභෝගිකයින්ගේ නව නිර්මාණ හඳුන්වාදීම, ඔවුන් වෙනුවෙන් තාක්ෂණික ඥාණය ලබාදීම, විදුලිබල සංරක්ෂණ ක්‍රමෝපායන් පිළිබඳව දැනුවත්
කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් දියුණු කිරීම සහ ඒ වෙනුවෙන් දිරිමත් කිරීමේ අරමුණෙන් බලශක්ති කාර්යක්ෂමතා සම්මාන පිරිනැමීම සිදු කරනු ලබයි. ගරු අගමැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන මෙම විදුල්කා බලශක්ති ප්‍රදර්ශනය, මේ මස 11 දින සිට 14 දින දක්වා බණ්ඩාරනායක
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවූ අමාත්‍ය රණවක මහතා,  මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් වසර 2012 වනවිට විදුලියනය 100%ක් බවට පත්කිරමට මා බාරගත් අභියෝගය මේ වනවිට යථාර්තයක් බවට පත්වෙමින් තිඛෙනවා. දිවයිනේ අතිදුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන 5%ක ජනතාවට ප්‍රධාන ජාලයෙන් විදුලිය සපයන්න අපහසුයි. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල යටතේ සියළුම ගම්මානයන්ට විදුලිය දෙනවා. ප්‍රධාන ජාලයට ලගාවිය නොහැකි පිරිස ඉලක්ක කරගනිමින් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය සැපයෙනවා. සහන මිලගණන් යටතේ සූර්ය බලශක්ති කට්ටල සැපයමට අපි අදහස් කරනවා. මේ වනවිට කුඩා ජලවිදුලි බලාගාර වලින් මෙගාවොට් 175ක් ලබාගන්නවා. වසර 2020දී මෙම අගය මෙගාවොට් 500 දක්වා වර්ධනය කරනවා.
සුළං මගින් මේ වනවිට ලබාගන්නා මෙගාවොට් 30ක ධාරිතාවය 2020දී මෙගාවොට් 90ක් බවට ගෙන එනවා. සූර්ය බලයෙන් සහ ජීව ඉන්ධන මගින් මේ වනවිට ලබාගන්නා මෙගාවොට් 11.2ක දායකත්වය 2020දි මෙගාවොට් 150ක් දක්වා ගෙනඒමට අවශ්‍ය පියවර ගන්නවායැයි පැවසීය.
වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍යවරයා, තව වසර 40කින් පමණ ඉන්ධන වල අවසන් වීමක් පෙන්නුම් කරනවා. තෙල් නැති ලෝකයක පැවැත්ම පිළිබඳව අවබා්දයක් ලබාගැනීමට මේ විදුල්කා ප්‍රදර්ශනය ඉතාමත් වැදගත්. ඒ වගේම ගල්අගුරු ප්‍රභවයේ අවසානයත් මේ සියවස අවසන් වනවිට උදාවේවි. මේ වනවිට ඉන්ධන සහ ගල්අගුරු වැනි දහන ප්‍රභේදයන් මගින් සිදුවන පරිසර ගැටළු අවම කරගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් මෙම විදුල්කා ප්‍රදර්ශනය වැදගත්. විශේෂයෙන්ම පාසල් මට්ටමේ සිට සියළුම ජන කොටස් විදුලිබල සංරක්ෂණ වැඩපිළිවෙලක් කරා යොමු කිරීම මෙම විදුල්කා
ප්‍රදර්ශනයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේයැයි පැවසීය.
මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා සහභාගි විය.