Posted by in Latest News
ලංවිම දීපව්‍යාප්ත වැටලීම් අඛණ්ඩව
ජූලි මස වැටලීම් තුළින් රු. කෝටි දෙකහමාරකට ආසන්න වාර්තාගත ආදායමක්.
ලංකා විදුලිබල මණ්ඩලය ණය නැති සාඩම්බර ආයතනයක් මෙන්ම ගුණාත්මක මහජන සේවාවක් සපයන ආයතනයක් බවට පත්කිරීම තුළින් වසර 2012 වන විට ශ්‍රී ලංකාවේ විදුලියනය 100% බවට පත්කිරීම සිය ඒකායන අරමුණ කරගත් විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ඒ සඳහා
බාහිරව මෙන්ම ආයතනය තුළ සිදුවන්නාවූ වංචා දූෂණ මුලිනුපුටා දැමීම සඳහා ලංවිම විශේෂ විමර්ශන ඒකකය මනා ලෙස බලගන්වා ඇත. ඒ අනුව එම ඒකකය මගින් පසුගිය ජූලි මස අම්පාර, කල්මුනේ ප්‍රදේශයන්හි සිදුකළ වැටලීම් මගින් රු. කෝටි දෙකහමාරකට ආසන්න ආදායමක්
උපයාගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 341ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 278ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 63ක් කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ.
ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් පසුගිය මස සිදුකළ ඉහත වැටලීම් තුළින් උපයාගත් රු.24,483,404.88 ( රු. මිලියන 24) ක මුදලින් රු.3,619,000.00ක් (රු. මිලියන 3.61) උසාවි දඩ වශයෙන්ද, රු.20,864,404.88ක් (රු. මිලියන 20.84) විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන්
බලා ඇත. මෙම ආදායම මෑත කාලයේ ඉපයූ වාර්තාගත ආදාමක් බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව අවධාරණය කරන විදුලිබල අමාත්‍යාංශය, වසර ගණනාවක් වැටී සිටි අගාධයෙන් මේ වනවිට ලංවිම ගොඩගෙන
ඇති බවත්, නැවතත් ආයතනය එවැනි අගාධයකට ඇද දැමීමට සැරසෙන මෙවන් වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට සහයොගය දක්වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් වංචාකාරීක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.