ත්‍රිකුණාමලය විදුලියෙන් 100% ක් බලගැන්වීමට අවශ්‍ය වන්නේ තවත් ට්‍රාන්ස්ෆෝමර් 20ක් සහ විදුලි දිගු 1332ක් පමණයි.
23 0

Posted by  in Latest News

නැගෙනහිර නවෝදය යටතේ මේ වනවිට 76%ක් වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විදුලියනය 100%ක් දක්වා ගෙනඒම ඉදිරි මාස 13 ඇතුලත සිදු කිරීමට සියළු කටයුතු ඉතා කඩිනමින් සම්පාදනය කෙරෙන බවත්, ඒ සඳහා තාරාපැවි 20ක් සහ විදුලි දිගු 1332ක් පමණක් සැහෙන බවත් ඊයේ විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ත්‍රිකුණාමල දේශාපලනාධිකාරිය සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ වසර 2012දී මුළු දිවයින ආවරණය වන පරිද්දෙන් විදුලිය සැපයීම අරමුණූ කරගනිමින් විෂයබාර අමාත්‍ය රණවක මහතා මේ වනවිට එක් එක් පළාත් ඉලක්ක කරගනිමින් විදුලි ව්‍යාපෘතින් දියත්කර ඇත. මේ යටතේ නැගෙනහිර පළාත මුල් කරගනිමින් ආරම්භ කර ඇති නැගෙනහිර නවෝදය ව්‍යාපෘතිය මගින් අම්පාර, ත්‍රිතුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිද්දෙන් නව විදුලි සම්බන්ධතා සහ විදුලි දිගු ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
වසර ගණනාවක් කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයන්ට නතුව තිබූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නව පාලම් කිහිපයක් ඉදිකර ඇති අතර ඒවාට විදුලිය ලබාදෙන මෙන් ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය විසින් අමාත්‍ය රණවක මහතාට ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර ඉතාමත් කඩිනමින් එම කාර්යය ඉටුකර දෙන ලෙස අමාත්‍යවරයා විසින් ප්‍රදේශය භාර ලංවිම නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. තවද දිස්ත්‍රික්කයේ සවර්ධනය වෙනුවෙන් ගතයුතු විදුලිය සම්බන්ධ ක්‍රියාමාර්ග රාශියක් පිළබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා වූ අතර ඒ සඳහා ක්‍රියාත්මක වන ලෙස අමාත්‍යවරයා විසින් අදාල අංශ දැනුවත් කරන ලදී.
නව රජය යටතේ අමාත්‍ය රණවක මහතා විසින් විදුලිබල ක්ෂේත්‍රය භාරගැනීමෙන් අනතුරුව පසුගිය දෙවසර තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 3271ක් වෙනුවෙන් විදුලි ව්‍යාපෘති 29ක්, විදුලි දිගු 59ක් ලබාදී ඇති අතර ඒ සඳහා රු. මිලියන 321ක් ආයෝජනය කර ඇති බව අවධාරණය කරන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, තවත් තරාපැවි 20ක් සහ විදුලි දිගු 1332ක් පමණක් ස්ථාපනය කිරීම තුළින් විෂයබාර අමාත්‍යවරයාගේ සමස්ත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය විදුලියෙන් ඒකාලෝක කිරීමේ
භාරධූර කර්තව්‍යය සාර්ථක ලෙස නිමකළ හැකි බවද පවසයි.
මෙම අවස්ථාව සඳහා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, පළාත් සභා උප සභාපතිනී ආරියවතී ගලප්පත්ති, ප්‍රියන්ත පතිරණ, නිමල් ගාමිධෑ, මොහොමඩ් මහරූෆ්, අන්වර් යන නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන්, දිසාපතිතුමන්, සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ලංවිම නැගෙනහිර පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. තවනේස්වරන් සහ ලංවිම ගැමි විදුලියන උපදේශක ඒ. කේ. දේවසුරේන්ද්‍ර යන මහත්වරුන් මෙන්ම  ප්‍රදේශයේ විශාල ජනපිරිසක් සහභාගී වූහ.