දකුණේ විදුලිබල පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට.
29 0

Posted by  in Latest News

• පළාතේ පවුල් 660,000 න් පවුල් 530,000 කට විදුලිය ඇණහිට, ඉන් 470,000 කට නැවත
විදුලිය ලබාදී අවසන්.
• ට්‍රාන්ස්ෆෝමර් 05ක්, අධි සැර විදුලි කුළුණු 04ක්, විදුලි රැහැන් කිලෝ මීටර් 46ක් සහ අඩු
වෝල්ටීයතා රැහැන් පද්ධතියේ කිලෝ මීටර් 1000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයි.
පසුගියදා දකුණු පළාතේ ඇතිවු හදිසි සුළි සුළං තත්ත්වය හේතුවෙන් පළාතේ සෑම ප්‍රදේශයකම පාහේ විදුලිබල රැහැන් සහ ස්ථාපිත පද්ධති වලට හානි සිදුවී ඇත. ඒ පිළිබඳව සොයාබලමින්, විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන්. විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා, 28 වන දින ප.ව. 3.00 ට ගාල්ල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයේදී ලංවිම නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. අනතුරුව, පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමටද අමාත්‍යතුමා කටයුතු කළේය.
එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා පෙන්වාදුන්නේ මෙම සුළි සුළිඟ හේතුවෙන් අධි සැර විදුලි රැහැන් පද්ධතියේ කිලෝ මීටර් 46 ක පමණ ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවයි. තවද අඩු සැර විදුලි රැහැන් ජාලයේ කිලෝ මීටර් 1041 ක් විනාශවී ඇති බවද පෙන්වාදුන්නේය. සුළි සුළං හේතුවෙන් දකුණු පළාතේ ට්‍රාන්ස්ෆෝමර් 05 ක්, අධි බලැති විදුලි රැහැන් දිවෙන කුළුණු 04 ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවද මෙහිදී අනාවරණය විය. ගාල්ල, හම්බන්තොට, අම්බලන්ගොඩ, මාතර සහ වැලිගම යන ප්‍රදේශ වල පවුල් 530,000 කට පමණ මේ හේතුවෙන් විදුලිබලය ඇණහිට ඇති අතර මේ වනවිට ඉන් පවුල් 470,000 කට පමණ නැවත විදුලිය ලබාදීමට සමත්වී ඇත. මෙයින් වැඩිම හානිය සිදුව ඇත්තේ හබරාදූව සහ වැලිගම ප්‍රදේශ වලටයි. විනාශයට පත්ව ඇති ජාලය නැවත ස්ථාපිත කිරීම සඳහා ප්‍රදේශයේ ඉංජිනේරු කාර්ය මණ්ඩල වලට අමතරව, කණ්ඩායම් 151ක් යටතේ කොළඹින් සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින් විශේෂ නිලධාරීන් යොදවා ඇතැයිද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
පද්ධතිය නැවත ස්ථාපිත කිරීමේ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපාදන මත සිදුකෙරෙන අතර තාවකාලික පිළියම් වලින් තොරව, ස්ථීරවම සම්පූර්ණ පද්ධතිය ස්ථාපිත කිරීම ලබන සෙනසුරාදාට (03 වනදා) පෙර සිදුකරන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටී.