Posted by in Latest News
බලශක්ති කළමනාකරණය වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එක්ව ජාත්‍යන්තර බලශක්ති කළමනාකරණ ක්‍රමවේද ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරයි. ඒ අනුව 2011 ජූලි මස 20 වන දින ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශකර ඇති, සහතිකලත් බලශක්ති කළමනාකරුවන් හා බලශක්ති විගණනකරුවන් සම්බන්ධ රෙගුලාසි පිළිබඳව මහා පරිමාණ බලශක්ති පරිභෝජන ආයතන, කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍ර වල බලශක්ති පරිභෝජකයන් 1500 ක් මූලික කරගනිමින්, දැනුවත්කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අද දියත් කෙරිණ.
මේ අනුව තිරසාර බලශක්ති කළමනාකරණ වැඩසටහනක් ආයතනික මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහාSLS ISO 50001 බලශක්ති කළමනාකරණ ක්‍රමවේද සහ ආයතනික බලශක්ති කළමනාකරණ පද්ධති හඳුන්වාදීම සිදුකෙරේ. ආයතන තුළ නව බලශක්ති කළමනාකරණ පද්ධති හඳුන්වාදීමත් සමඟ සහතිකලත් බලශක්ති කළමනාකරුවන් හා බලශක්ති විගණනයන් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වාදෙයි. ඒ යටතේ ව්‍යාපාරික ආයතන වල දිනකට සිදුවන රු. මිලියන 25 ක පමණ විදුලි හානිය අවම මට්ටමේ පවත්වාගත හැකි බවද එම අධිකාරිය සඳහන් කරයි.
අද හඳුන්වාදුන් බලශක්ති කළමනාකරණ පද්ධතිය (SLS ISO 50001) හා බලශක්ති කළමනාකරණ ක්‍රමවේද, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සෘජු අධික්ෂණය මත, ීඛී ෂීධ 50001 ලෙස බලශක්ති කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හඳන්වාදීමට නියමිතය. මෙමඟින් කාර්යක්ෂම හා ස්ථාවර බලශක්ති ක්ෂේත්‍රයක් ඇතිකළ හැකිය. නිෂ්පාදිත භාණඩ හා සේවාවන්ගේ ඵලදායීතාවය පිළිබඳ විශ්වසනීයත්වයක් ඇතිකරගත හැකි බවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති කාංචන රත්වත්තේ මහතා පවසයි.
බලශක්ති කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වුණු විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළෙ, පළමු අදියරේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වන කර්මාන්ත 1500 තුළ මෙම ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක වීමෙන් ජාතික පද්ධතියට ගිගාවොට් පැය 240 ක පමණ විදුලි ඉතිරියක් සිදුවන බවත්, එමඟින් වසරකට රු. බිලියන 10 ක වාණිජ ලාභයක් උපයාගත හැකි බවත්ය. දෛනිකව පවතින මෙගාවොට් 2000 ක ඉල්ලූම සැපයීම සඳහා මෙගාවොට් 2980 ක තිර උත්පාදන ධාරිතාවක් පවත්වාගැනීමට, ජල විදුලි අර්බුදයක් පවතින වර්තමානයේදීද හැකිවී ඇත. දකුණු ආසියා කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, නේපාලය හා භූතානය වැනි රටවල දවසට පැය 08 – 16 අතර කාලයක් විදුලි කප්පාදුව සිදුවෙද්දී, පාරිභෝගිකයාට අවශ්‍ය සංඛ්‍යාතයට අනුව ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව සමත්වී ඇතැයි වැඩිදුරටත් අමාත්‍යතුමා සඳහන් කළෙය.
SLS ISO 50001 බලශක්ති කළමනාකරණ ක්‍රමවේද සහ ආයතනික බලශක්ති කළමනාකරණ පද්ධති හඳුන්වාදීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අද (13) පැවති උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ප්‍රධාන කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයේ ආයතන නියෝජනය කරමින් බලශක්ති කළමනාකරුවන් හා විගණනකරුවන් 200 කට ආසන්න පිරිසක් සහභාගි විය.