“ඉහළ කොත්මලේ දැයට පිදුම ලබන ජනවාරියේ”
07 0

Posted by  in Latest News

ජලාශයට මංගල දියවර මුදාහැරේ.
සෙන්ට් ක්ලෙයාර් දියඇල්ලේ සුන්දරත්වයට කිසිඳු බාධාවක් නැහැ
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක ධාරිතාවයක් එක්කිරීමට නියමිත, ශ්‍රී ලංකාවේ අවසන් විශාලතම ජලවිදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට 92%ක් අවසන් වී තිබේ. ලබන ජනවාරි මස අවසානයට ප්‍රථම විදුලි ජනන කටයුතු ඇරඹීමේ අරමුණින්  කඩිනම් ව්‍යාපෘතියක් ලෙසින් ඉදිකෙරෙන මෙහි, ජලාශයට මංගල දියවර මුදාහැරීම ඊයේ (2011.12.15 දින ) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් සිදු විය.
දේශීය හා ජපන් තාක්ෂණික ඥාණයෙන් ඉදිවන මෙම ජලවිදුලි ව්‍යාපෘතිය සඳහා රජය විසින් රු. මිලියන 8548ක් ආයෝජනය කර ඇති අතර මේ සඳහා වන ජපන් ණය ආධාර මුදල යෙන් මිලියන 37,817කි. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් තලවකැලේ නගරයේ පාසල්, වෙළඳසැල්, ක්‍රීඩාංගන, ප්‍රජාශාලා මෙන්ම මංමාවත්ද අළුතින් ඉදිවී, අංගසම්පූර්ණ නගරයක් බවට පත්වෙමින් තිබේ. ඊට අමතරව මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත්වන බවද විදුලිබල අමාත්‍යාංශය පවසයි.
කොත්මලා ඔය තලවකැලේ නගරය ආසන්නයේදී දැවැන්ත වේල්ලක් මගින් හරස් කොට නව කොත්මලේ ජලාශය ඉදිකර තිබේ. ඊයේ සිදු කළ මංගල දියවර නිකුත් කිරීමත් සමග පැය 20ක් තුළදී ජලාශය ජලයෙන් පිරී ඇත. මුල් දියවර ජලාශයට පිරෙන පැය 20ක කාලයක් පමණක් සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල සිඳී ගිය අතර  අද අළුයම වනවිට එය යථා තත්ත්වයට පත්වී ඇත. ඉදිරියේදී නැවත නැවතත් සෙන්ට් ක්ලෙයාර් දියඇල්ල වැසීයාමෙන් එහි සුන්දරත්වය විනාශ වන බවට මත පලවී ඇත. ව්‍යාපෘති සැලැස්මට අනුව එවැනි ආකාරයේ සිදුවීමක් කිසිසේත් නොවන බව ව්‍යාපෘති කාර්යාලය අවධාරණය කරයි. ඇල්ලේ සුන්දරත්වය විඳීමට අවශ්‍ය විශේෂ නැරඹුම් මැදිරියක් ඉදිකිරීමද ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රජා සේවයක් ලෙසින් මේ වනවිටත් ඉදිවෙමින් පවතින බව අමාත්‍යාංශය පවසයි.
ඉහළ කොත්මලේ බලාගාරය මෙගාවොට් 75ක ධාරිතාවයකින් යුත් විදුලි ජනන යන්ත්‍ර 02කින් සමන්විත වේ. ඉන් ප්‍රථම විදුලි ජනන යන්ත්‍රයෙන් වාණිජ මට්ටමින් විදුලි ජනනය 2012 වසරේ ජනවාරි මස අගදී ආරම්භ කිරීමට නියමිතය. දෙවෙනි යන්ත්‍රයෙන් විදුලි ජනනය 2012 වසරේ අප්‍රේල් මස වනවිට ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතී.
පරිසරය හා අත්වැල් බැඳගත්  සංවර්ධනයෙන්  දේශීය ආර්ථීකය සෞභාග්‍යය කරා යන ගමනේදී ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය මගින් නුදුරේදී සැපයෙන දායකත්වය රටේ සංවර්ධනයට මහත් රුකුලක් වනු ඇත.