පුනර්ජනනීය බලශක්තියෙන් තොර අනාගතයක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකියි.
08 0

Posted by  in Latest News

අනාගත ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් සවිමත් කරමින්, බලශක්තියේ තිරසාර අනාගතයක් වෙනුවෙන් ගමන්කිරීම සඳහා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාජිකයෙකු ලෙස සීමාසහිත ශ්‍රි ලංකා බලශක්ති සමාගම පිහිටුවීම සහ නව කාර්යාලය විවෘතකිරීම අද පෙ.ව. 9.24 ට යෙදුනු සුබ මොහොතින් 2/126, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විෂයබාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
පුද්ගලික හා රාජ්‍ය අංශයේ ශක්තිමත් එකමුතුවක් මඟින් වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 20% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ආශ්‍රයෙන් උත්පාදනය කිරීම සඳහා දිගුකාලීන සැලසුමක් ඇත. අද වනවිට මෙගාවොට් 250 ක්ව පවතින සමස්ත පුනර්ජනනීය බලශක්තිය, 2020 වනවිට මෙගාවොට් 1355 ක් බවට පත්කෙරේ. ක්‍රි.ව. 1850  දී පොසිල ඉන්ධන භාවිතය 5% ක් වූ අතර එය 1960 වනවිට 94% ක් දක්වා වැඩිවී ඇත. ලොව පළමු න්‍යෂ්ටික සබ්මැරීනය නිර්මාණය කළ සහ න්‍යෂ්ටික ප්‍රතිකාරකය නිර්මාණය කරමින් සිවිල් කටයුතු සඳහා පළමුවරට එය භාවිත කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් වන රික් ඕවර් 1958 දී පෙන්වාදී ඇත්තේ, අද වනවිට වැඩි වශයෙන් භාවිතවන පොසිල ඉන්ධන වන ඛණිජ තෙල්, ගල් අගුරු , ගෑස් වලට අමතරව ශේල් ද, වසර 2050 වනවිට ආර්ථීක සහ සමාජීය වශයෙන් භාවිතයට ගත නොහැකි සම්පත් බවට පත්වන බවයි. එය නූතන විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇති අතර ඒ සඳහා එකම විකල්පය බවට පත්වී ඇත්තේ සූර්ය, සුළං, භූ තාපය, සාගර රළ කුඩා ජල විදුලි වැනි පුනර්ජනනීය බලශක්තියම පමණි.
ඛණිජ තෙල්, ගල් අගුරු  හෝ වෙනත් ඕනෑම පොසිල ඉන්ධනයක් වෙනුවෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවුවද, ස්වාභාව ධර්මයෙන් නොමිලයේ හිමිවන පුනර්ජනනීය බලශක්තිය සඳහා එවන් සම්බාධක පැනවිය නොහැකි බවද විෂයබාර අමාත්‍යතුමා අවධාරණය කළේය. අද වනවිට ලාභදායීම විදුලි උත්පාදන මාධ්‍යය වන ගල් අගුරු , තවත් වසර 10 ක් යාමට පෙර ලෝකයේ වැඩිම මිලක් වැයකළ යුතු, විදුලි උත්පාදන මාධ්‍යය බවට පත්වන අතර 2017 , 2020 වනවිට අඩුම මිලක් වැයකළයුතු විදුලි උත්පාදන මාධ්‍යය බවට පත්වන්නේ, සූර්ය සහ සුළං බලය බවද අමාත්‍ය චම්පික රණවක මහතා මේ අවස්ථාවේදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සමගාමීව මේ වනවිට සංවර්ධන කටයුතු අඩපණව පවතින මෙගාවොට් 250 ක උපරිම ධාරිතාවක් සහිත කුඩා ජල විදුලි බලාගාර 130 ක් සංවර්ධනය කර පද්ධතියට එකතුකිරීම වෙනුවෙන් වන ගිවිසුමකට, ශ්‍රී ලංකා බලශක්ති සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අත්සන් තබන ලදී. ඉදිරියේදී ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම මෙන්ම වෙනත් පුද්ගලික බලශක්ති ආයතන සමඟද ඒකාබද්ධව රටේ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට කටයුතු කරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එස්.සී. දිද්දෙණිය මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ටී. එම්. හේරත් මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා අනෙකුත් ආයතන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි විය