කොත්මලේ උමගට සුබ මොහොතින් මංගල දියවර.
19 0

Posted by  in Latest News

ලබන මාර්තුවේදී ජාතික පද්ධතියට මෙගාවොට් 150ක්
ශ්‍රී ලංකාවේ දිගම උමග වශයෙන් සැලකෙන ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතියේ උමං මාර්ගයට මංගල දියවර මුදාහැරීම අද (2012.01.17) පෙරවරු 11.20ට යෙදුනු සුබ මොහොතින් විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ශ්‍රී ලංකාවේ අවසන් විශාලතම ජල විදුලි ව්‍යාපෘතිය වශයෙන් සැලකෙන ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය සඳහා ජලය සැපයෙන කොත්මලා ඔයේ ජලය, තලවාකැලේ සිට නියම්ගම්දොර දක්වා රැගෙන එනු ලබන කිලෝ මීටර් 13ක් දිග, මීටර් 5.9ක විෂ්කම්භයකින් යුත් උමං මාර්ගයේ ප්‍රධාන දොරටුව සෙන්ටිමීටර් 10ක් පමණ විවර කිරීමෙන්, තත්පරයට ඝන මීටර් 3ක පරිමාණයකින් ජලය උමග තුළට නිකුත්කිරීම සිදු විය.
මෙම මස අගභාගයේදී පරීක්ෂණ මට්ටමෙන් ජනන කටයුතු ආරම්භ කිරීමට ව්‍යාපෘති භාර ඉංජිනේරුවන් සැලසුම් කර ඇති අතර එහිදී මෙගාවොට් 75ක පමණ ධාරිතාවයක් ජනනය කෙරේ. ජපන් – ශ්‍රී ලංකා ඉංජිනේරු දායකත්වයෙන් ඉදිවූ කොත්මලේ බලාගාරයේ සැලසුම්ගත ධාරිතාවය වන මෙගාවොට් 150 ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම, ලබන මාර්තු මස 27 වන දින අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් සිදුකිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. ඉන් අනතුරුව මෙතෙක් මෙගාවොට් 1207.45ක් වු ශ්‍රී ලාංකීය ජලවිදුලි ධාරිතාවය 1357.45ක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ වැඩිවන විදුලි ඉල්ලූම සපුරාලනු වස් 2006.03.03 දින සුබ මොහොතින් ආරම්භ වූයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව යමින් එතුමන්ගේ මඟපෙන්වීම යටතේය. 1998 වසරේදී ජාතික පාරිසරික පනතට අනුව ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය පිරිනැමිනි. මෙම තීරණයට විවිධ විරෝධතාවන් මතුවූ අතර උසාවිය හමුවේ ඒ සියල්ලම සමථයකට පත්වීමෙන් පසුව 2000 වසරේ මාර්තු මාසයේදී පූර්ණ වශයෙන් මේ සඳහා අනුමැතිය හිමිවිය. වාර්ෂිිකව ගිගාවොට් පැය 409ක විදුලි ශක්තියක් මෙමඟින් නිපදවනු ලබයි.
නියම්ගම්දොර ප්‍රදේශයේ ඉදිවන මීටර් 37ක් පළල, මීටර් 130ක් දිග වහරු අංගනයක් සහිත මෙම ව්‍යාපෘතිය සතු භූගත විදුලි බලාගාරය දිගින් මීටර් 66කින්ද, පළලින් මීටර් 19කින්ද යුක්ත වන අතර උස මීටර් 36කි. කිලෝ මීටර් 18ක දිගකින් යුත් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය සතු සම්ප්‍රේෂණ මාර්ගය කිලෝ වෝල්ට් 220ක ධාරිතාවයකින් යුක්තවේ. සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් රජයේ විදේශ සංවර්ධන සහන යටතේ ජපන් සහයෝගිතා බැංකුව මඟින් ජපන් යෙන් මිලියන 37,817ක සහනදායී ණය වලට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මඟින් රුපියල් මිලියන 8548ක මුදලක් ව්‍යාපෘතිය සඳහා වැයකරනු ලබයි.
ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් වෙනුවෙන් ව්‍යාපෘතිය මඟින් ඉදිකළ නිවාස සංඛ්‍යාව 495කි. ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රතිපත්ති වලට අනුව බලපෑමට ලක්වන සියළුම නිවාස වෙනුවෙන් විකල්ප නිවාස ලබාදීම සිදුවූ අතර සියළුම නිවැසියන් නීත්‍යානුකූල හිමිකරුවන් ලෙස සලකා ඔවුන් සතුවූ නිවාස වලට වඩා වැඩි විශාලත්වයකින් යුත් ස්ථීර නිවාස ඉදිකළ අතර විදුලිය, නළ ජලය සහ සංවර්ධිත ප්‍රවේශ මාර්ග වැනි වැඩිදියුණු කරන ලද පහසුකම් ලබාදීම සිදුකෙරිනි. ප්‍රදේශයේ ගමනාගමන පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 77ක වියදමකින් තලවාකැලේ කොත්මලා ඔය හරහා මීටර් 80ක් පමණ දිග පාලමක්ද ඉදිකොට ඇත.
අර්බුදයකින් තොරව සියළු විදුලි පාරිභෝගිකයින් හට විදුලියේ හිමිකම ලබාදීම කඩිනම් කිරීමේ අරමුණෙන්, විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන්ගේ නිබඳ මඟපෙන්වීම හා උපදෙස් පරිදි මෙය කඩිනම් ව්‍යාපෘතියක් සේ සලකා නිවැරදිව හා කාර්යක්ෂමව සියළු කටයුතු නිමකිරීමට ලංවිම නිලධාරීන් සමත්වී ඇත.
මෙම මංගල දියවර නිකුත් කිරීමේ සුබ මොහොත වෙනුවෙන් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, ලංවිම සභාපති මහාචාර්ය ව්මලධර්ම අබේවික්‍රම, සාමාන්‍යාධිකාරි නිහාල් වික්‍රමසූරිය, අතිරේක සාමාන්‍යාධිකාරි සහ ඉහළ කොත්මලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.