ඉහළ කොත්මලේ බලාගාරය  ජනපති නිරීක්ෂණයට.
09 0

Posted by  in Latest News

•ජපන් උප අගමැති කට්සුයා ඔකාඩා මහතාද සංචාරයට එක්වේ.

 •ඉතිරි මෙගාවොට් 75 ලබන ජූනි මස ජාතික පද්ධතියට.

 සොබාදහමේ දායාද තුළින් ජාතියට ආර්ථීක සමෘද්ධිය ළඟාකරදෙන ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ සමස්ථ වැඩකටයුතු මේ වනවිට 96%ක ප්‍රගතියක් ලබා ඇති අතර ලබන ජූනි මාසයේදී මෙගාවොට් 150ක ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට මේ වනවිට සියල්ල සූදානමින් පවති. බලාගාරයේ වර්ථමාන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම  සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන විශේෂ නිරීක්ෂණ චාරිකාවක් හෙට (05) පෙ.ව. 10.30ට බලාගාරභූමියේදී සිදු කෙරේ. මෙම නිරීක්ෂණ චාරිකාවට ජපන් රජයේ නියෝජ්‍ය අගමැති කට්සුයා ඔකාඩා, එරට තානාපති නොබුහිතෝ හෝබෝ, විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය.

 ශ්‍රී ලංකාවේ වැඩිවන විදුලි ඉල්ලූම සපුරාලනු වස් 2006.03.03 දින සුබ මොහොතින් ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය ආරම්භ විය. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට අයත්ව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ දකුණු පසට වන්නට පිහිටා ඇති මහවැලි ගෙඟ් ප්‍රධාන අතු ගංඟාවක් වන කොත්මලා ඔය හරස්කොට මීටර් 180ක් දිග, මීටර් 355ක් උස කොන්ක්‍රීට් වේල්ලක් ඉදිකර ඇත. පරිසර හානිය අවම වන පරිද්දෙන් මෙගාවොට් 150ක ස්ථාපිත ධාරිතාවයක් සහිතව, වාර්ෂිිකව ගිගාවොට් පැය 409ක විදුලි ශක්තියක් ඉහළ කොත්මලේ බලාගාරයෙන් අපේක්ෂා කෙරේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිකළ දිගම උමං මාර්ගයේ හිමිකම ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය සතු වන අතර එහි දිග කිලෝමීටර 12.9ක්ද, විෂ්කම්භය මීටර් 5.2ක්ද වේ.

 නියංගම්දොර ප්‍රදේශයේ ඉදිවූ මීටර් 37ක් පළල, මීටර් 130ක් දිග වහරු අංගනයක් සහිත මෙම ව්‍යාපෘතිය සතු භූගත විදුලි බලාගාරය දිගින් මීටර් 66කින්ද, පළලින් මීටර් 19කින්ද යුක්ත වන අතර උස මීටර් 36කි. කිලෝ මීටර් 18ක දිගකින් යුත් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය සතු සම්ප්‍රේෂණ මාර්ගය,කිලෝ වෝල්ට් 220ක ධාරිතාවයකින් යුක්තවේ.

 මේ වනවිට ව්‍යාපෘතියේ මූලික සිවිල් වැඩ වලින් 95% අවසන් වී ඇති අතර ප්‍රධාන සිවිල් වැඩ 97%ක්ද, ජල යාන්ත්‍රික සවිකිරීම 100%ක්ද, විදුලි ජනන යන්ත්‍ර සවිකිරීම 100% ක් සහ විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම 100% ද වශයෙන් අවසන් වී තිඛෙන බව ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය පවසයි.

 සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් රජයේ විදේශ සංවර්ධන සහන යටතේ ජපන් සහයෝගිතා බැංකුව මඟින් ජපාන යෙන් මිලියන 37,817ක සහනදායී ණය වලට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මඟින් රුපියල් මිලියන 8,548ක මුදලක් ව්‍යාපෘතිය සඳහා වැයකරනු ලබයි.

ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් වෙනුවෙන් ව්‍යාපෘතිය මඟින් ඉදිකළ නිවාස සංඛ්‍යාව 495කි. ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රතිපත්ති වලට අනුව බලපෑමට ලක්වන සියළුම නිවාස වෙනුවෙන් විකල්ප නිවාස ලබාදීම සිදුවූ අතර සියළුම නිවැසියන් නීත්‍යානුකූල හිමිකරුවන් ලෙස සලකා ඔවුන් සතුවූ නිවාස වලට වඩා වැඩි විශාලත්වයකින් යුත් ස්ථීර නිවාස ඉදිකළ අතර විදුලිය, නළ ජලය සහ සංවර්ධිත ප්‍රවේශ මාර්ග වැනි වැඩිදියුණු කරන ලද පහසුකම් ලබාදීම සිදුකෙරිනි. ප්‍රදේශයේ ගමනාගමන පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 77ක වියදමකින් තලවාකැලේ කොත්මලා ඔය හරහා මීටර් 80ක් පමණ දිග පාලමක්ද ඉදිකොට ඇත.
ඉහළ කොත්මලේ විදුුලි බලාගාරය මෙගාවොට් 75ක ධාරිතාවකින් යුත් විදුලි ජනක යන්ත්‍ර 02කින් සමන්විත ෙවි. ඉන් ප්‍රථම විදුලි යන්ත්‍රයෙන් පරීක්ෂණ මට්ටමින් විදුලි ජනනය 2012 වසරේ ජනවාරි මස අගදී ආරම්භ කළ අතර එහි පූර්ණ ජනන ධාරිතාව වන මෙගාවොට් 75ක් පසුගිය මාර්තු මස 28 වන දින ජාතික පද්ධතියට සම්බන්ධ කෙරිණි. අනෙක් ජනන යන්ත්‍රයේ මෙගාවොට් 75ක ධාරිතාව ලබන ජූනි මස දෙවන සතිය අවසානයට පෙර ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

 අර්බුදයකින් තොරව සියළු විදුලි පාරිභෝගිකයින් හට විදුලියේ හිමිකම ලබාදීම කඩිනම් කිරීමේ අරමුණෙන්, විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන්ගේ නිබඳ මඟපෙන්වීම හා උපදෙස් පරිදි මෙය කඩිනම් ව්‍යාපෘතියක් සේ සලකා නිවැරදිව හා කාර්යක්ෂමව සියළු කටයුතු නිමකිරීමට ලංවිම නිලධාරීන් සමත්වී ඇත.