ශ්‍රී ලංකාවේ විදුලි බිල, “ආසියාවේ ඉහළම විදුලි බිල” බව කීම අමූලික අසත්‍යයක්.
17 0

Posted by  in Latest News

දකුණු ආසියාවේ, ජනනය හා සම්ප්‍රේෂණ කාර්යයන් තුළ අඩුම විදුලි හානිය ඇති රට ශ්‍රී ලංකාවයි
පැය 24ම අඛණ්ඩව විදුලියක් සපයන, 92% කට වඩා ජනතාවට විදුලිය සපයා ඇති ආසියාතික රටවලින් අඩුම විදුලි මිල ක්‍රමය ඇත්තේ ශ්‍රී ලංකාවේ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවැති විදුලිබල සංරක්ෂණ වැඩමුළුවේදී පැවැසීය. තමිල්නාඩු ප්‍රාන්තයේ ඒකක 30ට අඩුවෙන් විදුලිය ලබාගන්නා දුගී ජනතාවට විදුලිය ඒකකයක් ලංකාවේ මුදලින් රුපියල් 5.62ක් වන අතර, ලංකාවේ එය ඉන්ධන ගැලපුම් ගාස්තුවද සම`ග රුපියල් 5.00ක් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය. තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ දිනකට පැය 02ක විදුලි කප්පාදුවක් ද, ගම්බද ප්‍රදේශවල පැය 08-12 දක්වා විදුලි කප්පාදුවක්ද, සතියකට කර්මාන්ත සඳහා දින දෙකක් විදුලිය කප්පාදු කිරීමක්ද, සිදුකරන බව කී අමාත්‍යවරයා, ලංකාවේ කර්මාන්ත හා ගෘහස්ථ පාරිභෝගිකයනට සහන මිලට 24 පැයම ගුණාත්මක විදුලිය ලැඛෙන බව ද ප්‍රකාශ කළේය. දකුණු ආසියාවේ අඩුම විදුලි හානිය ඇති රට ද ශ්‍රී ලංකාව බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. අඩු ආදායම් ලාභීන්ට බිලියන 17ක් ද, කර්මාන්තවලට බිලියන 07ක් ද, ලෙස 2011 වසරේ බිලියන 24ක විදුලි සහනාධාරයක් ලංවිම ලබාදී ඇති අතර, එය ලංවිම මුළු මෙහෙයුම් පාඩුව වූ බිලියන 17ට වඩා වැඩි අගයක් බවද අමාත්‍ය චම්පික රණවක මහතා එහිදී අවධාරණය කළේය.
1988 සිට ගල් අ`ගුරු බලාගාරයක් තැනීමට ගත් උත්සාහයන්, දේශපාලන තීන්දු නොගැනීම නිසා 2006 වන තෙක් සාර්ථක නොවූ බව සඳහන් කළ ඇමතිවරයා, සාමාන්‍ය පිරිවැයට අඩුවෙන් විදුලිය නිපදවන බලාගාර දෙකම එනම් පුත්තලම ලක්විජය හා ඉහළ කොත්මලේ යන බලාගාර තැනූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බව ප්‍රකාශ කළේය. එදා බලාගාර නොතනා, පුද්ගලික අංශයෙන් අධික මිලට විදුලිය ගැනීමේ කොන්ත්‍රාත්තු ගසා, දිනකට පැය 07 දක්වා විදුලිය කප්පාදු කළ අය අද විදුලිය ගාස්තු ගැන කතා කිරීම අපරාධකරුවන් යුක්තිය ගැන කතාකිරීමටත් වඩා විහිළුවක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
1977-1994 එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ඉන්ධන වියදමක් නැති ජල විදුලිය තිබියදීත්, විදුලි ඒකකයක මිල 21 ගුණයකින් (ශත 17 සිට රු 3.76) ඉහළ දැමූ බවද එතුමා ප්‍රකාශ කළේය. ලංකාවේ විදුලි බිල ආසියාවේ ඉහළම බිල බව කීම අමූලික අසත්‍යයක් බව කී අමාත්‍යවරයා, න්‍යෂ්ඨික බලයට සහනාධාර දෙන රටවල් හා බාල වර්ගයේ ගල් අ`ගුරු භාවිතා කරන රටවල් මෙන්ම ඉන්ධන සම්පත් ඇති රටවල් වල සහනාධාර ක්‍රමය හා ලංකාවේ ක්‍රමය සංසන්දනය කළ නොහැකි බවද ප්‍රකාශ කළේය. වැසි නොලැබීම නිසා 77% ක් විදුලිය ඉන්ධනවලින් නිපදවන අතර, 2014 වනවිට ගල් අ`ගුරු බලාගාරයේ සම්පූර්ණ වැඩ නිමාවූ විට මේ තත්ත්වය පාලනය වනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පළකළේය.