මුළු රටේම සම්ප්රේෂණ සහ ඛෙදාහැරීම් පද්ධති නවීකරණයට පියවර.
18 0

Posted by  in Latest News

• නවීකරණ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ චීන රජයෙන් ඩොලර් මිලියන 650ක්

• වසර 3කින් ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම්.

රටේ සියළුදෙනාට විදුලියේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමයි. එම මානව අයිතිය නිවැරදිව වටහාගෙන කඩිනමින් එය තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇත.  මේ වනවිට ශ්‍රී ලංකාවෙන් 94%ක්  විදුලියෙන් ආවරණිතයි. රටේ පවතින සංවර්ධනයත් සමග විදුලි ඉල්ලූමද දිනෙන් දින වැඩිවෙමින් පවතී. එම තත්ත්වය හමුවේත් පැය 24 පුරාම අඛණ්ඩව විදුලිබල සම්පාදනයක්  පවත්වාගෙන යාමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකිවී ඇත. ඊට සමගාමීව රට පුරා විහිදී ඇති සම්ප්‍රේෂණ සහ ඛෙදාහැරීම් පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමද අභියෝගයකි.

ලංවිම ඉතිහාසයේ වැඩිම අවධානයක් යොමුකරමින් සහ වැඩිම ආයෝජනයක් සිදු කරමින් මුළු රට පුරා පැතිර ඇති සම්ප්‍රේෂණ සහ ඛෙදාහැරීම් පද්ධතිය නවීකරණයට  අවශ්‍ය කටයුතු සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ සහ චීන රජයේ සහන ණය සහ ආයෝජන මත ඉදිරි වසර 3 ඇතුළත පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව ලංවිම පවසයි. ඒ සඳහා වැයවෙතැයි අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 650කි. විදුලි ඉල්ලූම වැඩිවීමත් සමග ඇතිවිය හැකියැයි අනුමාන කරන අඩු වෝල්ටීයතා ගැටළු සහ බිඳවැටීම් ඉතාම අවම මට්ටමක පවත්වා ගැනීමට මෙම නවීකරණ කටයුතු මගින් අවස්ථාව සැලසෙන බව පෙන්වා දෙන ලංකා විදුලිබල මණ්ඩලය, ඉදිරි අවුරුදු 20ක කාලයක් සඳහා මෙම සංවර්ධන කටයුතු මගින් ප්‍රතිලාභ ලබාගත හැකි බවද අවධාරණය කරයි.

ප්‍රමුඛ මහජන සේවාවක් සපයන ලංකා විදුලිබල මණ්ඩලය දිනෙන් දින වැඩිදියුණු වෙමින් පවතී. එම තාක්ෂණික සංවර්ධනයත් සමග සේවක මහත්ම මහත්මීන්ගේ ආකල්පමය සංවර්ධනයක්ද අත්‍යාවශ්‍ය බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. පාරිභෝගිකයන් වෙනුවෙන් සුහදශීලී කාර්යක්ෂම කැපවීම සැමගේ යුතුකම බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ලංවිම ප්‍රාදේශීය ඉංජිනේරුවන් වෙනුවෙන් පැවති විශේෂ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.