කුසලතා පිරි, පුහුණු ශ්‍රමිකයින් ලංවිමට බඳවා ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ
06 0

Posted by  in Latest News

*පළමු කණ්ඩායමට 468 දෙනෙක් සුදුසුකම් ලබයි.
*තෝරාගන්නා අයදුම්කරුවන්ට වසරක පුහුණු පාඨමාලාවක් සහ වසර 02 ක
*ලංවිම පුහුණුව ලබාගැනීමට අවස්ථාව.
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි කාර්මික සේවකයින්ගේ පුරප්පාඩු සහ ක්ෂේත්‍ර සේවාවන්හි පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී කුසලතාවයට සහ නිපුණතාවයට ඉඩක් ලබාදෙමින්, ඉදිරියේදී පුහුණු ශ්‍රමිකයින් බඳවාගැනීම වෙනුවෙන් සැලසුම් සකස්කර ඇත. එහිදී යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත විශේෂ විදුලි කාර්මික පුහුණු පාඨමාලා ආරම්භ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම අද උදෑසන සිදුවිය. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්. එම්. සි. ප්‍රදිනාන්දු මහතා සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. තිලකරත්න මහතා විසින් අමාත්‍යාංශ දෙකෙහි අමාත්‍යවරු ඉදිරියේ සිදු කෙරිණ.
මෙම අවබෝධතා ගිවිසුමට අනුව ගණිත විෂය සහිතව සාමාන්‍ය පෙළ සමත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලංකා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වසර 03 ක විශේෂ විදුලි කාර්මික පුහුණු පාඨමාලාව හැදෑරීමේදී වසර 02 ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රායෝගික ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට හැකියාව ලැබේ. පාඨමාලාව සඳහා තෝරාගැනීමේ පරීක්ෂණ කාර්මික අධ්‍යාපන ආයතනය මගින් සිදුකෙරේ. මෙහි පළමු ඛාණ්ඩය ලෙස කොළඹ, මඩකලපුව, අනුරාධපුර සහ මාතර ප්‍රදේශ වල තරුණ තරුණියන් 2457 දෙනෙකුගෙන් 468 දෙනෙක් සුදුසුකම් ලබා ඇත.
මෙම අවස්ථාවට එක්වුණු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් මෙන්ම ගුණාත්මක සුහදශීලී සේවයක් ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයක් බිහිකිරීමට නම්, කුසලතාවය හා නිපුණතාවයට ප්‍රමුඛත්වය හිමිවිය යුතු බවයි. අනාගත රාජ්‍ය සේවයේ කළමණාකරුවන්, මෙහෙයුම් නිලධාරීන්, ඝණකාධිකාරීවරුන් ඇතුළු පරිපාලන නිලධාරීන් බිහිකිරීම පාසැලේ සිටම හඳුනාගත් වැඩසටහනක් අනුව ක්‍රියාත්මක කළයුතුව ඇත. ඒ සඳහා පුංචියට හෝ පූර්වාදර්ශයක් සැපයීමට අප අමාත්‍යාංශයටන්ට මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බවද ප්‍රකාශ කළේය. මෙය අනාගතයේ සවිමත් වන බලශක්ති ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී,  ජාතික ක්‍රිකට් සංචිතයක් පිහිටුවා, එයින් අති දක්ෂයින් රට නියෝජනය කිරීමේ කණ්ඩායමට තෝරා ගැනේ. එහි ප්‍රතිපළය ලෝක කුසලානයක් රටට දිනාදුන්නා සේම, අද අප අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ යහපත් ප්‍රතිඵල රට ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ කුසලතා පිරිපුන්, නිපුණතා හෙඹි, තරුණ ශ්‍රමිකයින් පිරිසක් භිහිකිරීම වෙනුවෙන් ගත් උත්සාහයක් බව අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.
සභාව ඇමතූ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා සඳහන් කළේ, කාර්මික ක්ෂේත්‍රය ගමට ගෙනයාම සඳහා ශත වර්ෂයකට ආසන්න කාලයක් ගතවූ බවයි. 1893 කාලයේ ශ්‍රී ලංකාවේ පළමු කාර්මික විද්‍යාලය බිහිවූවත්, එම විද්‍යාල ගමට ගියේ 1996 වසරේය. රටේ තාරුණ්‍යය ශක්තිමත් කිරීම පක්ෂ, පාට භේදයකින් තොරව කුල, ජාති, ආගම් භේදයකින් තොරව රජයක් විසින් සිදුකළ යුතු ප්‍රධානතම කාර්යයක් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. බලශක්ති ක්ෂේත්‍රයේ මෙන්ම රටේ සේවා අංශයේ ප්‍රමුඛතම කාර්යභාරයක් කරන ලංකා විදුලිබල මණ්ඩලය, තරුණ ශ්‍රමිකයින් වෙනුවෙන් පුහුණු අවස්ථාවක් ලබාදීමට ඉදිරිපත්වී අතිශය වැදගත් බව එතුමා සඳහන් කරයි. නිපුණතාවයට, කුසලතාවයට ඉඩදෙමින් ශක්තිමත් රාජ්‍ය සේවයක් බිහිකොට සංවර්ධිත දේශයක් බිහිකිරීම සඳහා රජය සැමවිටම කටයුතු කරන බව එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට විෂයභාර අමාත්‍යවරුන් දෙදෙනා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනා, ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම, සාමාන්‍යාධිකාරි නිහාල් වික්‍රමසූරිය, කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චිත්‍රාල් ජනරත්න මහතා ඇතුළු ආයතන දෙකෙහි ෙජ්්‍යෂ්ඨ නිලධාරීන් හා පාඨමාලාවේ පළමු කාණ්ඩයට තෝරා ගැනුනු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වූහ.