නිදහස් අධ්‍යාපනය රැකගැනීමට මෙන්ම වැඩිදියණු කිරීමට රජය කටයුතු කරනවා
11 0

Posted by  in Latest News

  • දියුණු රට වලට සාපේක්ෂව සාක්ෂරතාව, ආයු කාලය, කාන්තා නියෝජනය අතින්
  • අපේ රට සිටින්නේ වඩාත් ඉදිරියෙන්

රත්මලාන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව, රත්මලාන ප්‍රාදේශිකයේ පාසල්, ආදර්ශමත් පාසල් ලෙස සංර්ධනය කිරීමට කොරියානු රජය ඉදිරිපත්වී ඇත. එහි සමාරම්භක අවස්ථාව අද උදෑසන ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේදී සිදුකෙරිණ. ඒ සඳහා  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයන් සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චොයි ජොන්ග් මුන් මහතායි. මෙහිදී විද්‍යා විද්‍යාලයට සංකේතාත්මකව සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමක් සහ පාසලේ ආලෝකකරණයට අවශ්‍ය සූර්ය බල විදුලි ලාම්පු කට්ටල පරිත්‍යාග කිරීමක්, කොරියානු තානාපතිතුමා අතින් සිදුකෙරිණ. මේ අවස්ථාවට අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහතාද සහභාගි විය. වසර 25 ක ඉතිහාසයක් ඇති ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට විදේශ තානාපතිවරයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. පාසලේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව විශේෂ වාර්තාවක් විදුහල්පතිවරයා විසින් කොරියානු තානාපතිතුමාට ලබාදෙන ලදී.

උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය චම්පික රණවක මහතා……

අද අපේ රටේ අධ්‍යාපනය නව සංධිස්ථානයකට පැමිණිලා. අධ්‍යාපනය අතින් කලාපයේ අනෙකුත් රට වලට වඩා ලංකාව ඉදිරියෙන් සිටින්නේ. එක් වකවානුවක අපේ රටේ අධ්‍යාපනයේ දොරටු විවර වුනේ රදල ධනපතීන්ට පමණයි. නමුත් කව්රු මොනවා කිව්වත් අපේ රට සෑම අතින්ම දියුණු රටක් බවට පත්වුනේ, නිදහස් අධ්‍යාපනය නිසා බව අපි පිළිගත යුතුයි. සෑම රජයක් විසින්ම මේ නිදහස් අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි. කිසිම රජයකටවත්, වෙනයම් බලවේගයකටවත් මේ නිදහස් අධ්‍යාපනයේ දොරටු වැසිය නොහැකි යැයි පැවසීය. සාමාන්‍යයෙන් කොරියාව කියන්නේ එදා ආර්ථීක, අධ්‍යාපනික මෙන්ම සමාජ මට්ටමෙන් විශාල වශයෙන් පසුගාමී රටක්, 1950-60 කාලයේ කොරියාවේ ඒකපුද්ගල ආදායම, අපේ රටේ ඒකපුද්ගල ආදායමෙන් 1/3 ක ප්‍රමාණයක්. නමුත් අද කොරියාවේ ඒකපුද්ගල ආදායම අපේ රටේ වගේ දොළොස් ගුණයක් බවට පත්වෙලා. දුගී දුප්පත්කමට එදා අප අවමානයට,සමච්චලයට කිව්වෙ, කොරියාව වගේ කියලා. නමුත් අද අපේ තරුණ තරුණියෝ කොරියාවේ යන්න පෝලිම් ගැහිලා. අද  කොරියාව අධිතාක්ෂණික ක්ෂේත්‍රයේ සහ ඉලෙට්‍රෝනික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් බවට පත් වෙලා. ඒ වගේම තොරතුරු තාක්ෂණය, වානේ වැනි යෝධ කර්මාන්ත රැසක් බිහි වෙලා. කොරියාවේ එදා සහ අද තත්ත්වය අපේ රටට මහත් ආදර්ශයක් යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….,

කොරියාව තාක්ෂණික වශයෙන් දියුණූ වුවත්, එරටේ වගා කළ හැකි භූමි ප්‍රමාණය මුළු බිම් ප්‍රමාණයෙන් 15% යි. ඒ අතින් අපි වඩාත් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම දියුණු රට වලට සාපේක්ෂව සාක්ෂරතාවය, ආයු කාලය, කාන්තා නියෝජනය වැනි දේ තුළින් අපේ රට සිටින්නේ වඩාත් ඉදිරියෙන්. ඊට පිටිවහලක් වී ඇත්තේ නිදහස් අධ්‍යාපන ක්‍රමයයි. නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න, නාගරික දරුවො වගේම, අපේ ගමේ ගොඩේ දරුවන්ටත් රටේ ලෝකයේ පිළිගත්ත වෘත්තින්ට පිවිසීමේ වරම් ලැබුණා. පටු දේශාපලන වාසි තකා ඇතමුන් නිදහස් අධ්‍යාපනය අගාධයට ඇද දමන්න හැදුවත්, අප සියළුදෙනාම එක්වී නිදහස් අධ්‍යාපන ක්‍රමය රැකගත යුතුයි. රට ආශ්චර්යය කරා යන ගමනේ පෙරගමන්කරු වශයෙන් නිදහස් අධ්‍යාපනය මෙහෙයවිය යුතුයැයි පැවසීය.