You are here:

HomeLatest Newsරටවල් 17 ක සහභාගීත්වයෙන් අන්තර්ජාතික න්‍යෂ්ටික තාක්ෂණික සමුළුවක් ශ‍්‍රී ලංකාවේදී.
රටවල් 17 ක සහභාගීත්වයෙන් අන්තර්ජාතික න්‍යෂ්ටික තාක්ෂණික සමුළුවක් ශ‍්‍රී ලංකාවේදී.
24 0

Posted by  in Latest News

ගොවිබිමට න්‍යෂ්ටික තාක්ෂණයේ නව ප‍්‍රවේශ පිළිබඳ අධ්‍යයනයට කටයුතු කෙරේ

පරමාණුක ශක්ති අධිකාරිය විසින් කෘෂිකාර්මික ප‍්‍රදේශ වල පසේ සාරවත් භාවය ඉහළ නගාසිටුවීම හා භූමි ඵලදායීතාවය වර්ධනය සඳහා භූමි හායනය අඩුකිරීම පිළිබඳ සොයාබැලීම අරමුණු කරගනිමින්, අගෝස්තු මස 27 වන සඳුදා සිට 31 වන සිකුරාදා දින දක්වා ගලධාරි හෝටල් පරිශ‍්‍රයේදී ආසියා ශාන්තිකර සාමාජික රටවල සහභාගිත්වයෙන් අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, චීනය, නවසීලන්තය, වියට්නාමය ඇතුළු සාමාජික රටවල් 17 ක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව ඇත. සාමාජික රටවල පවතින වැරදි ඉඩම් පරිහරණ ක‍්‍රම නිසා සිදුවන භූ හායනය අඩුකිරීම උදෙසා ක‍්‍රියාමාර්ග ගැනීමට න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතය.

මෙම සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප‍්‍රදේශ වල කෘෂිකාර්මික ඉඩම් වල පවතින පාංශු ඛාදනය නිර්ණය කිරීමට න්‍යෂ්ටික තාක්ෂණික ක‍්‍රම භාවිතය පිළිබඳව සාකච්ඡුාවට ගැනීමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ භූමි හායනයට හේතුවන ප‍්‍රධාන සාධක වනුයේ පාංශු ඛාදනය හා පස නිසරු වීමය. මීට මිනිසාගේ ක‍්‍රියාකාරකම් මූලික වශයෙන් බලපායි. 1951 අංක 25 දරණ පාංශු සංරක්ෂණ පනත මඟින් සංරක්ෂණය කළ යුතු ප‍්‍රදේශ නිර්ණයට යම් ප‍්‍රවේශයක් ගෙන ඇති අතර 2007 වර්ෂයේ මුළු මධ්‍යම කඳුකරයම මෙම සංරක්ෂිත ප‍්‍රදේශ වලට ඇතුළත් කර ඇත.

පාංශු සංරක්ෂණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ඇති ප‍්‍රධාන බාධාවන් වනුයේ සංරක්ෂණය කළ යුතු ප‍්‍රදේශ හඳුනාගැනීමට පාංශු ඛාදනය පිළිබඳව ඇති දත්ත හා තොරතුරු ප‍්‍රමාණවත් නොවීමය. මෙම ව්‍යාපෘතිය මඟින් න්‍යෂ්ටික තාක්ෂණ ක‍්‍රම උපයෝගී කරගනිමින් මධ්‍යම කඳුකරයේ විවිධ කෘෂිකාර්මික ඉඩම් වල හා තෝරාගත් පොල් වගාකරන ඉඩම් වල පාංශු ඛාදන ප‍්‍රමාණය පිළිබඳ දත්ත බැංකුවක් සකස්කිරීමට බලාපොරොත්තු වේ. පාංශු සංරක්ෂණ පනත ක‍්‍රියාත්මක කිරීමටද මේ මඟින් ඉඩ සැලසේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ, පරමාණුක ශක්ති අධිකාරිය මේ සඳහා මූලිකව ක‍්‍රියාකරන අතර කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය හා පොල් පර්යේෂණ ආයතනය මේ සඳහා සහයෝගය දක්වයි.