වසර 03කට පසු සුපිරිසිදු හරිත සුළං බලයෙන් මෙගාවොට් 30 ක් ජාතික විදුලිබල පද්ධතියට.
09 0

Posted by  in Latest News

ඉදිරියේදී මන්නාරම සහ පුනගරීන් හි සුළං උද්‍යාන ඉදිකිරීමට සැලසුම්

මුළු ලෝකයේම අනාගත බලශක්තිය පවතින්නේ පුනර්ජනනීය බලශක්තිය මත බව ලෝක බලශක්ති විශේසඥයින් අනාවරණය කර තිබේ. පොසිල ඉන්ධන හා ගල් අඟුරු සංචිත තවත් දශක 4ක් වැනි කාලයකින් අවසන් වීමට නියමිත බව ඔවුන්  අනාවරණය කර තිබේ. මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඇති එකම විකල්පය වන්නේ සුපිරිසිඳු හරිත බලශක්තිය වෙත යොමුවීමයි. අනාගත ශ‍්‍රී ලංකාවේ බලශක්ති ප‍්‍රතිපත්තිය, ඒ මත විශ්වාසය තබමින් සැලසුම් කර ඇත. වසර 2020 වනවිට ශ‍්‍රී ලංකාවේ සුළං බලය ආශ‍්‍රයෙන් මෙගාවොට් 400ක ධාරිතාවයක් ස්ථාපිත කිරීමටත්, එම කාලය තුළ 20% කට වැඩි ප‍්‍රමාණයක් සාම්ප‍්‍රදායික නොවන  පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වන සුළං, සූර්යබලය, කුඩා ජල විදුලි මෙන්ම ජෛව ස්කන්ධ ආශ‍්‍රයෙන් උත්පාදනය කිරීමට නියමිතය. මේ වෙනුවෙන් මහින්ද චින්තන ඉදිරි දැක්ම මගින් විශේෂ සැලසුම් සකස් කර තිබේ.

අද (09* උදෑසන පුත්තලම දිස්ත‍්‍රික්කයේ සේතපොල, දළුව හා නොරොච්චෝල යන ප‍්‍රදේශයන්ගේ ස්ථාපිත කර ඇති මෙගාවොට් 30 බැගින් වූ සුළං බලාගාර 03ක් ජාතික පද්ධතියට සම්බන්ධ කෙරිණි. වසර 03 කට පසු ජාතික පද්ධතිය සුපිරිසිදු හරිත බලශක්තිය මෙගාවොට් 30 කින් සවිමත් කිරීමට හැකිවිය. ඒ අනුව සුළං විදුලි ධාරිතාව මෙගාවොට් 66 දක්වා වර්ධනය වී තිබේ.

මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය රණවක මහතා, වර්තමානයේ විදුලිබල ක්ෂේත‍්‍රයේ යම් ගැටළු සහගත තත්ත්වයක් පවතින බව අපි දන්නවා. මේ වනවිට අපි යම් තීරණාත්මක අවස්ථාවකට එළඹිලා සිටින්නේ. විදුලිය කප්පාදුවකින් තොරව ලබාගන්න නම් මහජනතාව මේ ගැන යම් අවධානයකින් සිටිය යුතුයි. නිරන්තරයෙන් බලශක්ති සංරක්ෂණයට යොමුවීම තමයි ජනතාවට මේ වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීම. ඒ තුළින් විදුලිය කප්පාදුවකින් තොරව ලබාගැනීමට හැකිවේවි. ඒ වගේම තවත් වසර 20ක් පමණ යද්දි ගල් අඟුරු සංචිත නිමවේවි. මේ තත්ත්වයන් හමුවේ අපි සාම්ප‍්‍රදායික නොවන බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවිය යුතු කාලය දැන් එළඹිලා. අතීතයට අයිති බලාගාරයකුත් අනාගතයට අයිති බලාගාරයකුත් මේ වගේ එකම ප‍්‍රදේශයක ස්ථාපනය වීම දෛවෝපගත සිදුවීමක් යැයි පැවසීය.

අද පද්ධතියට සම්බන්ධ කළ සුළං බලාගාර 03 ආශ‍්‍රයෙන් වසරකට ගිගාවොට් පැය 90ක් ජාතික පද්ධතියට එක්කෙරේ. මෙම ව්‍යාපති 03 සඳහා වන රු. මිලියන 7200ක් වූ ආයෝජනය දේශීය ආයෝජකයින් විසින් සිදුකර තිබේ. තවත් සුවිශේෂීත්වයක් වන්නේ මෙම බලාගාර සඳහා තාක්ෂණික හා කාර්මික දායකත්වය ලබාදී ඇත්තේ දේශීය ඉංජිනේරුවන් වීමයි. මෙම බලාගාර සඳහා සවිකර ඇති සුළංබල විදුලි ජනක යන්ත‍්‍ර දැනට ලෝකයේ පවතින නවීනතම තාක්ෂණයෙන් යුක්ත බව මෙම ව්‍යාපෘතීයේ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල පෙරේරා මහතා පවසයි.

නිර්මලපුර මුහුදු තීරය ආසන්නයේ කි.මී.03 ක බිමක පැතිරී ඇති නිර්මලපුර වින්ඞ් පවර් පුද්ගලික සමාගමට හිමි සුළං බල කුළුණු 07කි. ඬේලි ලයිෆ් රිනීවබල් පුද්ගලික සමාගම සතු මෙගාවොට් 10 ක් සහිත ව්‍යාපෘතියේ විදුලි ජනන කුළුණු 08 කි. එම සුළං විදුලිබල උද්‍යානයේ දැනට දිවයිනේ සවිකර ඇති විශාලතම භෞතිකමාන සහිත සුළං බල විදුලි ජනක යන්ත‍්‍ර පවතී. ඒවායේ උස මීටර් 85ක් වන අතර විෂ්කම්භය 82ක් සහිත භ‍්‍රමක පෙති ත‍්‍රිත්වයකින් සමන්විතය. පවර්ජෙන් ලංකා පුද්ගලික සමාගම රු. මිලියන 2400ක් ආයෝජනය කර ඉදිකර ඇති බලාගාර පද්ධතියේ ජනන කුළුණු 07ක් පවතී.

මෙම අවස්ථාවට කල්පිටිය ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වික්ටර් ඇන්ටනි, හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, රීජන් පවර්ටෙක් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මධුසුදන් කේම් කා, ලංවිම උප සභාපති අනුර විජේපාල යන මහත්වරුන් ඇතුළු ලංවිම ජේ්‍යෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.