විදුලිය ජනතාවගේ අයිතියක්  ඒක ප‍්‍රාණ ඇපයට අරන් කටයුතු කරන්න කිිසිම කෙනෙකුට අයිතියක් නැහැ.
07 0

Posted by  in Latest News

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 564 ක් වෙනුවෙන් රු. ලක්ෂ 210 ක් වැයකොට ඉදිකළ නව විදුලි යෝජනා ක‍්‍රම 03 ක් පවරාදෙමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ කෑගල්ල, වරකාපොල සහ යටියන්තොට ප‍්‍රදේශ වල පවුල් 564 ක් වෙනුවෙන් රු. ලක්ෂ 210 ක ලංකා විදුලිබල මණ්ඩලයේ ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ ප‍්‍රතිපාදන මත ස්ථාපිත කළ ග‍්‍රාමීය විදුලි යෝජනා ක‍්‍රම 03 ක්, අද (07* විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

පවුල් 400 ක සෙත සලසමින්, රු. ලක්ෂ 38 ක් වැයකරමින් ඉදිකළ කෑගල්ල කලංනායක ශ‍්‍රී සරණපාල මාවතේ විදුලි යෝජනා ක‍්‍රමය විවෘතකිරීම අද උදෑසන සිදුකෙරිණ. මේ සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතාද එක්විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක මහතා…..

අද සමාජයේ බොර දියේ මාළු බාන අය බහුල වශයෙන් දැකගන්න පුළුවන්. විදුලිබල ක්ෂේත‍්‍රය තුළද මෙවන් පිරිස සුලබව දැකගන්න පුළුවන්. විවිධ අවස්ථා වලදී බාල තෙල් ගෙන්වා ඒවා බලාගාර වලට විකුණා, වැඩි වාසි හිමිකරගන්න සුක්ෂම ප‍්‍රකෝටිපතියන් කිහිප දෙනෙකු මේ රටේ සිටිනවා. ඒ අතරේ සමහරක් ජනතාවගේ පරම අයිතියක් වන විදුලිය ප‍්‍රාණ ඇපයට අරන් කටයුතු කරන්න සැරසෙනවා. රජයක් වශයෙන් මහජනතාවගේ විදුලියේ අයිතිය තහවුරු කරන්න අපි සැමවිට පෙනීසිටිනවා. විදුලියේ අයිතිය දිනාගන්න මේ රටේ සියළුදෙනා ඉදිරිපත් වෙන්න  ඕන. ඒ අයිතිය වෙනුවෙන් ඉදිරියට එන්න  ඕන. මේ දවස් වල උසස් පෙළ දරුවන්ගේ විභාග පැවැත්වෙනකොට, මැතිවරණ පැවැත්වෙනකොට තව පිරිසකට තමන්ගේ අයිතිවාසිකම් මතක්වෙලා. මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් නැත්නම් පටු දේශපාලන න්‍යාය පත‍්‍රයක්. මේ තත්ත්වය මහජනතාව තේරුම් අරගෙන කටයුතු කළොත්, අපි විදුලිබල ක්ෂේත‍්‍රයේ මේ යන ගමන සාර්ථක කරගන්න පුළුවන් වේවි. ඒ වෙනුවෙන් ඔබේ අයිතිය වෙනුවෙන් රට වෙනුවෙන් විදුලියේ අයිතිය දිනාගන්න ඉදිරියට එන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

මීට සමගාමීව රු. ලක්ෂ 60 ක වියදමින් වරකාපොල, දොරවක, ගුරුවල ජනපදයේ විදුලි යෝජනා ක‍්‍රමය විවෘතකිරීමද අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ. එමඟින් පවුල් 36 කට නව විදුලි සබඳතා හිමිවිය. අද සවස 5.30 ට යටියන්තොට, වී ඔය ජනපදයේ විදුලි යෝජනා ක‍්‍රමයද ජනතා අයිතියට පැවරීමට නියමිතයි. එමඟින් ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 128 කි. එම ව්‍යාපෘතිය සඳහා ලංවිම ආයෝජනය කර ඇති මුදල රු. ලක්ෂ 112 කි.

විෂයබාර අමාත්‍යවරයාගේ කෑගල්ල දිස්ත‍්‍රික් සංචාරයේදී කරවනැල්ල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නිරීක්ෂණයටද එක්විය. එම සේවා මධ්‍යස්ථානය එස් 05 සංකල්පයට අනුකූලව ක‍්‍රියාත්මක වෙමින් පවතී.