අගෝ්ස්තු 1 දා සිට දිවයිනේ වීදි ලාම්පු වලින් 50%ක් නිවාදැමීමට පියවර.
31 0

Posted by  in Latest News

පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග අමාත්‍ය චම්පික රණවක මහතා අද (31) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

දිවයින පුරා ස්ථාපිත කර ඇති මුළු වීදි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ නීත්‍යානුකූල අවසරය සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති විදි ලාම්පු ප්‍රමාණය ලක්ෂ 4කට අඩු බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. අද වන විට ජල විදුලි උත්පාදනය ඉතා සීමිත තත්ත්වයකට පත්ව ඇති හෙයින්, රාත්‍රියේ දැල්වෙන එක් වීදි ලාම්පුවක් වෙනුවෙන් වැයවන මුදල ඉහළ ගොස් තිබේ. එක් රාත්‍රියකට එක් වීදි ලාම්පුවකට විදුලිය සඳහා පමණක් වැයවන මුදල රු.150.00 ඉක්මවයි. වර්ෂාවසානයේ ලංවිම ශේෂ පත්‍රයේ වීදි ලාම්පු සඳහා වන විදුලියට අයවිය යුතු මුදල් වශයෙන් රු. මිලියන 1200ක්, 1400ක් අතර අගයක් එකතු වේ.

මේ සියළු තත්ත්වයන් සැලකිල්ලට ගෙන අමාත්‍ය චම්පික රණවක මහතා අද රැස්වු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ, හෙට සිට තම බල ප්‍රදේශයන්හි පවතින වීදි ලාම්පු වලින් එකක් හැර එකක් දැල්වීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව දිවයිනේ වීදි ලාම්පු වලින් 50%ක්, හෙට සිට නිවා දැමෙනු ඇත. ඒ සම්බන්ධව පූර්ණ විගණනයක් සිදුකර සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන අතර එය එක් එක් පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අදාල විගණනයේ දත්ත සැලකිල්ලට ගෙන එම එක් එක් ප්‍රදේශ වල වීදිලාම්පු සඳහා වන විදුලි බිල්පත ගණනය කිරීමටත්, ඊට අදාල ගෙවීම් ලංවිමට හෝ ලෙකෝ ආයතනයට සිදුකරන්නේ කව්රුන්ද යන්න පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග මේ මාසය ඇතුළත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට වීදි ලාම්පු නඩත්තුව, අක්‍රීය බල්බ මාරුකර කාර්යක්ෂම විදුලි බල්බ යෙදීම වැනි කරුණු සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අද උදෑසන පැවති මෙම සාකච්ඡාව සඳහා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් මෙන්ම නගරාධිපතිවරුන්ගේ සම්මේලනයේ සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ නියෝජිතයින්ද සහභාගි විය. ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ෙජ්්‍යෂ්ඨ නිළධාරීන් සහ මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ඇතුළු පළාත් පාලන ආයතන වල තාක්ෂණික නිලධාරීන් 40 දෙනෙකුද මෙම සාකච්ඡාව සඳහා එක් විය.