කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ජනන ධාරිතාව මෙගාවොට් 200 දක්වා ඉහළ නංවයි.
25 0

Posted by  in Latest News

පසුගිය ජූලි 02 වනදා තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කෙරවලපිටිය ද්විත්ව චක්රීය බලාගාරය ක්රියාවිරහිත කිරීමට සිදුවිය. රජය සතු ප්රධානතම තාප බලාගාරයක් වන මෙහි සම්පූර්ණ ජනන ධාරිතාවය මෙගාවොට් 300 කි. බලාගාරය අඩපණ වීමෙන් අනතුරුව පසුගිය ජූලි 12 වනදා සිට නැවතත් මෙගාවොට් 170ක් ජාතික පද්ධතියට එක්කිරීමට එහි මෙහෙයුම් නිලධාරීන් සමත්විය. මේ වනවිට සිදුවී ඇති තාක්ෂණික දෝෂය හඳුනාගෙන, එය නැවත පිළිසකර කිරීම සඳහා එම බලාගාරයේම ඉංජිනේරුවන් විසින් කටයුතු කරනු ලැබේ. අද පෙරවරුවේ විෂයභාර අමාත්ය පාඨලී චම්පික රණවක මහතා මුතුරාජවෙල පිහිටි බලාගාරයට ගොස්  අදාල දෝෂය පිළිබඳව සොයා බැලු අතර බලාගාර පරිපාලනය සහ මෙහෙයුම් අංශ නිලධාරීන් සමග සකච්ඡාවකද නිරත විය. එහිදී අමාත්ය චම්පික රණවක මහතා කියා සිටියේ, පසුගිය මාස 05ක කාලය තුළම පැය 24 පුරාම මෙම බලාගාරය ක්රියාත්මකවීම ජාතික පද්ධතියට විශාල ශක්තියක් වූ බවයි. පැතිර යන බොරු ප්රචාර ගැන නොසිතා තම කටයුතු සිදු කරන ලෙස අමාත්යවරයා සියළුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. අද වන විට තාප විදුලිබලය 85% වැනි තත්ත්වයකට පත්වීම මත ලංවිම දිනකට මිලියන 200ක පාඩුවක් ලබන බවද අමාත්යවරයා එහිදී සඳහන්කර සිටියේය. වසර 2014 වනවිට යුගදනවි බලාගාරය ද්රව වායු LNG වලින් ක්රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් සකස්කර ඇති බවත්, තවත් ලංවිම තාප බලාගාර කිහිපයක් එලෙස පරිවර්තනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්ය රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද (25) අළුයම වනවිට ගෑස් ටර්බයින් දෙක ආශ්රයෙන් මේ වන තෙක් ලැබුණ මෙගාවොට් 170ක ධාරිතාව, මෙගාවොට් 200 දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබී ඇති අතර එය ඒ මොහොතේ සිටම ජාතික පද්ධතියට එකතුකිරීමට කටයුතු කළ බව බලාගාරයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී එම්.ෙජ්.එම්.එන්. මරික්කාර් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දෝෂයට තුඩු දුන් ප්රධාන වාෂ්ප වෑල්වය තුළ ඇති සීල් ඇණය මේ වනවිට ඇමරිකාවේ සිට ගුවන් මගින් ශ්රී ලංකාවට ගෙන්වීමට  සියළු කටයුතු සිදුකර ඇති බවයි. සාමාන්යයෙන් මෙම දෝෂයට ලක්වූ සීල් ඇණය පිහිටා ඇත්තේ සෙල්සියස් අංශක 520ක ^520°C&  උෂ්ණත්වයක් සහිත, එමෙන්ම වාෂ්ප පීඩනය බාර් 100ක ( සාමාන්ය වායුගෝලීය පීඩනය මෙන් 100 ගුණයක්  තත්ත්වයක පවතින  කුටීරයක් තුලයි. එවන් පීඩනයක් තුළ වුවද මෙවන් දෝෂයක් සිදුවීම ඉතාම කලාතුරකින් සිදුවන තත්ත්වයක් බව  ප්රධාන මෙහෙයුම් නිලධාරීවරයා අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත් මෙගාවොට් 100 බැගින් උපරිම ධාරිතාවයෙහි ගෑස් ටර්බයින් දෙක ක්රියාත්මක කිරීමට මේ වනවිට හැකියාව ලැබී තිබේ. ඉතිරි මෙගාවොට් 100ක ධාරිතාව සහිත ස්ටීම් ටර්බයිනයද මේ මස 30 වනදා වනවිට  නැවත ජාතික පද්ධතියට එකතු කරන බව මරික්කාර් මහතා කියා සිටියි. මෙගාවොට් 100ක ධාරිතාවක්  පද්ධතියට ලබාදීම අඩු වුවත්, යුගදනවි බලාගාරයේ ජනන ඒකකයක අය ක්රමය වැඩිවී නොමැත. එසේම බලාගාරය වසා දැමීමට ඉන්ධන නොලැබීම බාධාවක් වී ඇති බවට පැතිර යන ප්රචාර අසත්ය බව  මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. මෙම යුගදනවි බලාගාරයේ විශේෂත්වය වන්නේ එය අඩු සල්ෆර් දැවිතෙල්, ඩීසල් හෝ ගෑස් භාවිතයෙන් ක්රියාකරවිය හැකිවීමයි.