?>

මන්නාරම සුළං විදුලිබල උද්‍යානය (මෙගා වොට් 300)

මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති මන්නාරම සුළං බල උද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං බල උද්‍යානය වේ. පළමු පියවර ලෙස මෙමගින් මෙගාවොට් 100 ක සුළං විදුලි බලයක් නිපදවනු ඇත. මෙගාවොට් 3.45 ධාරිතාවකින් යුත් අති නවීන සුළං ටර්බයින් 30 කින් මෙම ව්‍යාපෘතිය සමන්විත වන අතර මෙම උද්‍යානයේ සමස්ත ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 103.5 කි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෝසම් සුළං ධාරාවල ශක්තියෙන් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මෙය ඉදි කරන ලදී.  වාර්ෂිකව ගිගාවොට් පැය 400 ක විදුලි ධාරිතාවයක් ජනනය කිරීමට අපේක්ෂිත ය. මෙම ව්‍යාපෘතියේ  සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වන අතර එය ආසියානු සංවර්ධන බැංකුව වෙතින් සපුරා ගන්නා ලදී. ව්‍යාපෘතිය 2019 මාර්තු මස ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතියේ පළමු අදියර 2020 දෙසැම්බර් මස 08 වන දින “තම්බපවනි” නමින් බලගන්වන ලද අතර, මෙගා වොට් 30ක් ජාතික පද්ධතියට එක් කරන ලදී. නඩුකුඩා කොටුමා උපාපොල ඉදිකිරීම අවසන් වීමෙන් පසුව 2021 ජුනි මාසයේදී ඉතිරි ධාරිතාව ද ජාතික ජාලයට සම්බන්ධ කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ලබා ගත් ආසියානු සංවර්ධන බැංකු ණය මුදලේ ඉතිරිය මගින් එම ස්ථානයේම අතිරේක මෙගා වොට් 20ක සුළං බල ධාරිතාවක් ස්ථාපනය කිරීමට යොදා ගැනීමට නියමිතය.

දෙවන අදියර ලෙස, අතිරේක  මෙගා වොට් 200 ක ධාරිතාවක් සංවර්ධනය කිරීම සඳහා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මන්නාරම දූපතේ හඳුනාගත් ඉඩම්වල මැණුම් කටයුතු ආරම්භ කර ඇත.ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.