ddd
?>

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 35)

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය කැළණි ගඟෙහි ගලා යන ජල ධාරාව උපයෝගී කර ගනිමින් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණක් වන්නේ, දැනට ක්‍රියාත්මක පොල්පිටිය ජල විදුලි බලාගාරයේ පහල ජල ධාරාවේ ඇති ජල විභවය උපයෝගී කරගෙන ජල විදුලිය නිපදවීමයි.  ව්‍යාපෘතියේ ස්ථාපිත ධාරිතාව මෙගා වොට් 35ක් වනු ඇති අතර, වාර්ෂිකව ගිගා වොට් පැය 126ක් ජනනය කිරීමට අපේක්ෂිතය. ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩබිම කිතුල්ගල ආසන්නයේ පිහිටා ඇත. ප්‍රධාන වේල්ල, හැරවුම් වේල්ල, ප්‍රධාන උමග, හැරවුම් උමග සහ මෙගා වොට් 17.5ක තලබමන ජනන ඒකක දෙකකින් යුත් විදුලි බලාගාරය, වහරු අංගනය හා සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය යන ප්‍රධාන අංගයන්ගෙන් ව්‍යාපෘතිය සමන්විත වේ.

කිතුල්ගල ප්‍රදේශය තුළ සිදු කරන දිය මත පහුරු පැද යාමේ ක්‍රීඩා (White Water Rafting) සුරක්ෂිතව සිදු කරගෙන යෑම සඳහා අචල ජල මුදා හැරීමක් පවත්වා ගෙන යෑමට තීරණය කර ඇති අතර, එම හේතුව මත වාර්ෂික විදුලි ජනනයේ යම් අඩු වීමක් සිදු වනු ඇත. විදුලි ජනනය අඩු වීම අවම කර ගැනීම සඳහා මෙම ජලය මුදා හැරීම, කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයක් හරහා සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතියේ මුල් සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 82ක් විය. එම පිරිවැයෙන් 85%ක්  චීනයේ කාර්මික හා වාණිජ බැංකුවෙන් (ICBC) ලබාගන්නා ණය මුදලකින් ආවරණය වූ අතර ඉතිරි 15%  ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් ආවරණය කරගනු ලැබිණ.  එසේ වුවද, ICBCහි ණය මුදලේ වලංගුතාවය 2019.12.16 වන දිනෙන් අවසන් වූ බැවින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉතිරි වැඩ කටයුතු නිමකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මහජන බැංකුව සමඟ සාකච්ජා සිදු කරන ලදී. භෞතික ප්‍රගතිය අනුව, 79 % ක් නිම කර ඇති අතර, 2021 ජුනි මස විදුලි ජනන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.