අතීත ව්‍යාපෘතිය - විදුලිබල අමාත්‍යාංශය

මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 31)

මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 31)

මොරගොල්ල යනු මහවැලි ගංගා ද්‍රෝණියේ ඉදිකරන ලද අවසන් ජල විදුලි ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයේ උලපනේ ප්‍රදේශයේ පිහිටා ඇත. ව්‍යාපෘතියේ අපේක්ෂිත වාර්ෂික බලශක්ති උත්පාදනය ගිගා වොට් පැය 100 කි. වේල්ල ඉදිකිරීම, උමං කැණීම, බලාගාරය ඉදිකිරීම සහ බලාගාර පිරිසැකසීම සිදු වෙමින් පවතී. සමස්ත ප්‍රගතිය 59% කි. 2024 දෙසැම්බර් වන විට ව්‍යාපෘතිය අවසන් කර විදුලිය උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 114 කි.

 

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 35)

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 35)

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය කැළණි ගඟෙහි ගලා යන ජල ධාරාව උපයෝගී කර ගනිමින් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණක් වන්නේ, දැනට ක්‍රියාත්මක පොල්පිටිය ජල විදුලි බලාගාරයේ පහල ජල ධාරාවේ ඇති ජල විභවය උපයෝගී කරගෙන ජල විදුලිය නිපදවීමයි.  ව්‍යාපෘතියේ ස්ථාපිත ධාරිතාව මෙගා වොට් 35ක් වනු ඇති අතර, වාර්ෂිකව ගිගා වොට් පැය 126ක් ජනනය කිරීමට අපේක්ෂිතය. ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩබිම කිතුල්ගල ආසන්නයේ පිහිටා ඇත. ප්‍රධාන වේල්ල, හැරවුම් වේල්ල, ප්‍රධාන උමග, හැරවුම් උමග සහ මෙගා වොට් 17.5ක තලබමන ජනන ඒකක දෙකකින් යුත් විදුලි බලාගාරය, වහරු අංගනය හා සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය යන ප්‍රධාන අංගයන්ගෙන් ව්‍යාපෘතිය සමන්විත වේ.

කිතුල්ගල ප්‍රදේශය තුළ සිදු කරන දිය මත පහුරු පැද යාමේ ක්‍රීඩා (White Water Rafting) සුරක්ෂිතව සිදු කරගෙන යෑම සඳහා අචල ජල මුදා හැරීමක් පවත්වා ගෙන යෑමට තීරණය කර ඇති අතර, එම හේතුව මත වාර්ෂික විදුලි ජනනයේ යම් අඩු වීමක් සිදු වනු ඇත. විදුලි ජනනය අඩු වීම අවම කර ගැනීම සඳහා මෙම ජලය මුදා හැරීම, කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයක් හරහා සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතියේ මුල් සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 82ක් විය. එම පිරිවැයෙන් 85%ක්  චීනයේ කාර්මික හා වාණිජ බැංකුවෙන් (ICBC) ලබාගන්නා ණය මුදලකින් ආවරණය වූ අතර ඉතිරි 15%  ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් ආවරණය කරගනු ලැබිණ.  එසේ වුවද, ICBCහි ණය මුදලේ වලංගුතාවය 2019.12.16 වන දිනෙන් අවසන් වූ බැවින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉතිරි වැඩ කටයුතු නිමකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මහජන බැංකුව සමඟ සාකච්ජා සිදු කරන ලදී. භෞතික ප්‍රගතිය අනුව, 79 % ක් නිම කර ඇති අතර, 2021 ජුනි මස විදුලි ජනන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ඉහළ කොත්මලේ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය – මෙගා වොට් 300 දිගුව

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය – මෙගා වොට් 300 දිගුව

නොරොච්චෝලේ ක්‍රියාත්මක මෙගා වොට් 900 ගල් අඟුරු බලාගාරයෙහි මෙගා වොට් 300 බැගින් වූ  එ්කක තුන ස්ථාපනය කරන ලද චීන යන්ත්‍රෝපකරණ හා ඉංජිනේරු සංස්ථාව (China Machinery Engineering Corporation) සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් ලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට තවත් අතිරේක මෙගා වොට් 300 ක එ්කකයක් ඉදි කිරීම මගින් දීර්ඝ කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කරමින් පවතින අතර, වර්ෂ 2021 අප්‍රේල් වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලය හා ආයෝජන සමාගම අතර හවුල්කාර සමාගම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇත. එමෙන්ම විදුලි මිල දී ගැනීමේ ගිවිසුම, ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම සහ ගල් අඟුරු සැපයීමේ ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ජා ද ආරම්භ කර ඇත. වර්ෂ 2024 වන විට ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කෙරේ.