අනාගත ව්‍යාපෘතිය - විදුලිබල අමාත්‍යාංශය

මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 31)

මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 31)

මොරගොල්ල යනු මහවැලි ගංගා ද්‍රෝණියේ ඉදිකරන ලද අවසන් ජල විදුලි ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය මහනුවර දිස්ත්‍රික්කයේ උලපනේ ප්‍රදේශයේ පිහිටා ඇත. ව්‍යාපෘතියේ අපේක්ෂිත වාර්ෂික බලශක්ති උත්පාදනය ගිගා වොට් පැය 100 කි. වේල්ල ඉදිකිරීම, උමං කැණීම, බලාගාරය ඉදිකිරීම සහ බලාගාර පිරිසැකසීම සිදු වෙමින් පවතී. සමස්ත ප්‍රගතිය 59% කි. 2024 දෙසැම්බර් වන විට ව්‍යාපෘතිය අවසන් කර විදුලිය උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 114 කි.

 

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 35)

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (මෙගා වොට් 35)

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය කැළණි ගඟෙහි ගලා යන ජල ධාරාව උපයෝගී කර ගනිමින් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණක් වන්නේ, දැනට ක්‍රියාත්මක පොල්පිටිය ජල විදුලි බලාගාරයේ පහල ජල ධාරාවේ ඇති ජල විභවය උපයෝගී කරගෙන ජල විදුලිය නිපදවීමයි.  ව්‍යාපෘතියේ ස්ථාපිත ධාරිතාව මෙගා වොට් 35ක් වනු ඇති අතර, වාර්ෂිකව ගිගා වොට් පැය 126ක් ජනනය කිරීමට අපේක්ෂිතය. ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩබිම කිතුල්ගල ආසන්නයේ පිහිටා ඇත. ප්‍රධාන වේල්ල, හැරවුම් වේල්ල, ප්‍රධාන උමග, හැරවුම් උමග සහ මෙගා වොට් 17.5ක තලබමන ජනන ඒකක දෙකකින් යුත් විදුලි බලාගාරය, වහරු අංගනය හා සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය යන ප්‍රධාන අංගයන්ගෙන් ව්‍යාපෘතිය සමන්විත වේ.

කිතුල්ගල ප්‍රදේශය තුළ සිදු කරන දිය මත පහුරු පැද යාමේ ක්‍රීඩා (White Water Rafting) සුරක්ෂිතව සිදු කරගෙන යෑම සඳහා අචල ජල මුදා හැරීමක් පවත්වා ගෙන යෑමට තීරණය කර ඇති අතර, එම හේතුව මත වාර්ෂික විදුලි ජනනයේ යම් අඩු වීමක් සිදු වනු ඇත. විදුලි ජනනය අඩු වීම අවම කර ගැනීම සඳහා මෙම ජලය මුදා හැරීම, කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයක් හරහා සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතියේ මුල් සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 82ක් විය. එම පිරිවැයෙන් 85%ක්  චීනයේ කාර්මික හා වාණිජ බැංකුවෙන් (ICBC) ලබාගන්නා ණය මුදලකින් ආවරණය වූ අතර ඉතිරි 15%  ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් ආවරණය කරගනු ලැබිණ.  එසේ වුවද, ICBCහි ණය මුදලේ වලංගුතාවය 2019.12.16 වන දිනෙන් අවසන් වූ බැවින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉතිරි වැඩ කටයුතු නිමකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මහජන බැංකුව සමඟ සාකච්ජා සිදු කරන ලදී. භෞතික ප්‍රගතිය අනුව, 79 % ක් නිම කර ඇති අතර, 2021 ජුනි මස විදුලි ජනන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ඉහළ කොත්මලේ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය – මෙගා වොට් 300 දිගුව

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය – මෙගා වොට් 300 දිගුව

නොරොච්චෝලේ ක්‍රියාත්මක මෙගා වොට් 900 ගල් අඟුරු බලාගාරයෙහි මෙගා වොට් 300 බැගින් වූ  එ්කක තුන ස්ථාපනය කරන ලද චීන යන්ත්‍රෝපකරණ හා ඉංජිනේරු සංස්ථාව (China Machinery Engineering Corporation) සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් ලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට තවත් අතිරේක මෙගා වොට් 300 ක එ්කකයක් ඉදි කිරීම මගින් දීර්ඝ කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කරමින් පවතින අතර, වර්ෂ 2021 අප්‍රේල් වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලය හා ආයෝජන සමාගම අතර හවුල්කාර සමාගම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇත. එමෙන්ම විදුලි මිල දී ගැනීමේ ගිවිසුම, ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම සහ ගල් අඟුරු සැපයීමේ ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ජා ද ආරම්භ කර ඇත. වර්ෂ 2024 වන විට ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කෙරේ.

නූතන විදුලි විප්ලවයට නායකත්වය දෙන ජනපතිඳුන් හා රටට වැඩිම විදුලිබල සම්පත ලබාදුන් අගමැතිඳුන් ලාංකීය බලශක්තියේ ඉහළම ශක්තියයි ……

ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සමාරම්භයේදී විදුලිබල ඇමති ඩලස් අවධාරණය කරයි.

නූතන විදුලි විප්ලවය අරඹමින් ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන හැරවුම් ලකුණ සනිටුහන් කළ යුගයකටයි අප අවතීර්ණ වී ඇත්තේ. 1950 වර්ෂයේ ආරම්භ වුන ශ්‍රී ලාංකීය බලශක්ති විප්ලවයේ සුවිශේෂි සංදිස්ථානයකට අද අපි මේ රටේ මිලියන 22ක් පමණ ජනතාව කැඳවගෙන ඇවිත් තිබෙනවා. එල්.එන්.ජී. පිළීබදව සාකච්ඡාව ආරම්භ වන්නේ මීට දශකයකට පෙර. මේක ඉතිහාසයේ හීනයක් පමණක් බවට පත්වුණා. අනාගතයේදිත් මේක සිහිනයක්ම පමණක් වෙලා නිමා වෙන්නට තිබුණා, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජප්නෂ මැතිතුමගේ සෞභාග්‍යයේ දැක්ම නොතිබුණානම්. වායු බලාගාර සිහිනය, සිහිනයක්ම වන්නට නොදී යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාට මේ මොහොතේ ජාතියක් වශයෙන් අපගේ ප්‍රණාමය පුදකළ යුතුයි යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට දායක කිරීමට නියමිත, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

මන්නාරම සුළං විදුලිබල උද්‍යානය (මෙගා වොට් 300)

මන්නාරම සුළං විදුලිබල උද්‍යානය (මෙගා වොට් 300)

මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති මන්නාරම සුළං බල උද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං බල උද්‍යානය වේ. පළමු පියවර ලෙස මෙමගින් මෙගාවොට් 100 ක සුළං විදුලි බලයක් නිපදවනු ඇත. මෙගාවොට් 3.45 ධාරිතාවකින් යුත් අති නවීන සුළං ටර්බයින් 30 කින් මෙම ව්‍යාපෘතිය සමන්විත වන අතර මෙම උද්‍යානයේ සමස්ත ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 103.5 කි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෝසම් සුළං ධාරාවල ශක්තියෙන් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මෙය ඉදි කරන ලදී.  වාර්ෂිකව ගිගාවොට් පැය 400 ක විදුලි ධාරිතාවයක් ජනනය කිරීමට අපේක්ෂිත ය. මෙම ව්‍යාපෘතියේ  සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වන අතර එය ආසියානු සංවර්ධන බැංකුව වෙතින් සපුරා ගන්නා ලදී. ව්‍යාපෘතිය 2019 මාර්තු මස ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතියේ පළමු අදියර 2020 දෙසැම්බර් මස 08 වන දින “තම්බපවනි” නමින් බලගන්වන ලද අතර, මෙගා වොට් 30ක් ජාතික පද්ධතියට එක් කරන ලදී. නඩුකුඩා කොටුමා උපාපොල ඉදිකිරීම අවසන් වීමෙන් පසුව 2021 ජුනි මාසයේදී ඉතිරි ධාරිතාව ද ජාතික ජාලයට සම්බන්ධ කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ලබා ගත් ආසියානු සංවර්ධන බැංකු ණය මුදලේ ඉතිරිය මගින් එම ස්ථානයේම අතිරේක මෙගා වොට් 20ක සුළං බල ධාරිතාවක් ස්ථාපනය කිරීමට යොදා ගැනීමට නියමිතය.

දෙවන අදියර ලෙස, අතිරේක  මෙගා වොට් 200 ක ධාරිතාවක් සංවර්ධනය කිරීම සඳහා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මන්නාරම දූපතේ හඳුනාගත් ඉඩම්වල මැණුම් කටයුතු ආරම්භ කර ඇත.ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.