පූර්විකාව

පසුගිය දශක කිහිපය තුළ බලශක්ති ක්‍ෂේත‍්‍රය ලැබූ ජයග‍්‍රහණයන රැසකි.

එමෙන්ම එලඹෙන දශක කිහිපයේ මුහුණ දීමට තිබෙන අභියෝගයන්ද රැසකි.

අප ජාතිය පූර්ණ විදුලියනය සහ තවත් එවැනිම ප‍්‍රතිපත්තිමය ඉලක්ක රැසක් ජයගෙන ඇත්තේ

ශ‍්‍රී ලංකා බලශක්ති ප‍්‍රතිපත්ති හා ක‍්‍රමෝපාය (2008) ප‍්‍රකාශනයට අනුකූලවයි.

බලශක්ති සුරක්‍ෂිතතාව ක්‍ෂය වෙමින් පවතින ලෝකයක ජාතික ආර්ථිකයේ

ඔරොත්තු දීමේ හැකියාවට මහත් රුකුලක් වූ පුනර්ජනනීය බලශක්තියේ

විශාල දායකත්වය රැක ගැනීමේ තිර අදිටනින් ශී‍්‍ර ලංකාව ඉදිරියෙන්ම සිටියි.

මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය රටේ බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ඉදිරි ගමනට මං සලකුණු පෙන්වා දී

ස්ථාවර ආර්ථිකයකට එම ක්‍ෂේත‍්‍රයේ දායකත්වය ලබා දෙනු ඇත.

දශක කීපයක් පුරා ඇදී ගිය යුද ගිනි දැල් නිවා

මුළු රටටම අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කොට ඇති අතර

රට පුරා විසිරී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙලෙස සැපයූ විදුලිය යොදා ගෙන

වඩා ඵලදායී ලෙස අමුද්‍රව්‍ය හා මානව සම්පත් පරිහරණයට සූදානම්ව සිටියි.

රටේ සියළු පුරවැසියන්ගේ නවීන බලශක්ති සම්පාදනයේ සිහිනය සැබෑ කරමින්

වායු, ද්‍රව හා ඛනිජ වැනි ඉන්ධන මගින් නිෂ්පාදිත විදුලිය ද රට පුරා බෙදා හැරේ.

සේවා අංශයේ 60% ක ශක්තිමත් දායකත්වයෙන් පරිණාමනය වන ජාතික ආර්ථිකයේ නව ව්‍යුහය

ඉඟි කරනුයේ රට තව දුරටත් බලශක්ති පිරිමැසුම් මාවතේ සිය

ආර්ථික වර්ධන අභිලාෂය වෙත ගමන් කරනු ඇති බවයි.

තවද දැනුමින් කුළුගැන්වුණු ආර්ථිකයක් කරා තැබෙන යෝධ පියවර

ආර්ථිකයේ බලශක්ති තීව‍්‍රතාව වර්තමානයේ පවතින හිතකර මට්ටමේම

පවත්වා ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.

නිරන්තරයෙන් බලශක්ති අර්බුදවලින් බැට කන ලෝකයක සවිමත් ආර්ථිකයක් සාක්‍ෂාත් කර ගැනීමට

මෙම ප‍්‍රතිපත්තිය මඟ සලසනු ඇත.

මෙම ප‍්‍රතිපත්තිය විසින් මේ වන විට දැරිය නොහැකි සහනාධාර බරින් මිරිකී හුදු පැවැත්ම සඳහා

අරගලයක නිරත බලශක්ති කර්මාන්තය නවෝත්පාදනයෙන් ආර්ථිකය පුබුදුවන

උත්පේ‍්‍රරකයක් බවට පරිවර්තනය කරන අතරම

රට ගෝලීය බලශක්ති සංක‍්‍රාන්තියටද සූදානම් කරනු ඇත.

රටවැසියන් අත්කර ගන්නා නව ආර්ථික නිදහස උසස් ප‍්‍රමිතියෙන් සම්පාදනය වන

බලශක්ති සේවා වෙනුවෙන් ගෙවිය යුතු මිල පැකිළීමකින් තොරව ගෙවීමට

අවකාශය සපයනු ඇත.

සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ දිගුකාලීන යහපත උදෙසා කාර්යක්ෂමව සහ සඵලදායීව

බලශක්ති ක්‍ෂේත‍්‍රය මෙහෙයවීම සඳහා එහි නියැලී සිටින වෘත්තිකයන්ගේ

හැකියාවන් වර්ධනය කිරීමටද මෙම ප‍්‍රතිපත්තිය හේතු වනු ඇත.

පුනර්ජනනීය බලශක්තියේ ජාතික දායකත්වය රැකගැනීමට එහි නැගී එන භූමිකාවට අවස්ථාව සලසා

නව තාක්ෂණයෙන් සඵල වූ එවැනි පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර

වැඩි වැඩියෙන් බලශක්ති ප‍්‍රවාහයට එකතු කර ගැනීමට

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට මෙම ප‍්‍රකාශනය ඉඩ සපයා ඇත.

බලශක්ති ඉල්ලූම් වර්ධනය ප‍්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමට

සමස්ත සැපයුම් දාමයේ බලශක්ති කාර්යක්ෂමතා ප‍්‍රවර්ධනයද

මෙමගින් සාක්ෂාත් කරගනු ඇත. දේශගුණික විපර්යාස නිසා

එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට ශ‍්‍රී ලංකාවේ කැපවීම සහතික කරමින් බලශක්ති ක්‍ෂේත‍්‍රයේ

සියළු පාර්ශ්වකරුවන්ගේ උත්සාහයන් කැටි කොට දේශගුණික විපර්යාසයට

කේන්ද්‍රීය, අර්ථාන්විත සහ ශක්‍ය වූ ප‍්‍රතිචාරයක් දැක්වීමටද

මෙම ප‍්‍රතිපත්තිය දායක වනු ඇත.

  1. හැඳින්වීම

බලශක්ති සම්පාදන විකල්ප සංඛ්‍යාවේ වර්ධනය, නව බලශක්ති වාහක හා වැඩිවන විදුලි ඉල්ලූම ආදී කරුණු නිසා වර්ධනය වන සංකීර්ණත්වයට මුහුණ දෙමින් ලෝක බලශක්ති ක්ෂේත‍්‍රය තීරණාත්මක සංක‍්‍රාන්තියකට එළඹ තිබේ. ශී‍්‍රි ලංකාවද මෙම සංක‍්‍රාන්තියට ඉදිරි දශක කිහිපයේදී මුහුණ දෙනු ඇත. මෙම පරිවර්තනය වෙමින් පවතින බලශක්ති ක්ෂේත‍්‍රය රටේ ආර්ථික වර්ධනය බලගන්වනුයේ එහි නිම්වලලූ පුළුල් කරමින් මෙන්ම නවමු අවස්ථාවන් ද ජනිත කරමින්ය. මෙම ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය මඟින්, ගැටළුවකින් තොරව බලශක්තිය සපයා ගත හැකි අනාගත සශ‍්‍රීකත්වයක් සඳහා සියලු රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායන්, නිවාස සහ කර්මාන්ත සඳහා මනා අවකාශයක් සැපයීමට මෙන්ම අවම පාරිසරික භාරයක් සමඟින් ඉහළ ඵලදායිතාවයක්, ආරක්ෂාවක් සහ බාහිර බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාවක් සහිතව තිරසාරත්වයක් අත්කරගනිමින් ජාතිය සහ එහි සමාජ වෙළඳපොළ ආර්ථිකය බලගැන්වීම සඳහා, සංක‍්‍රාන්තියට මුහුණ දෙන බලශක්ති ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමනට මංසලකුණු සපයනු ඇත.

ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයෙහි මධ්‍යස්ථ පරාසයක ශ්‍රේණිගත කර ඇති අතර වාර්ෂික ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇ.ඩො. 4,065 (2017)1 ක මධ්‍යස්ථ පරාසයක පවතී. මෙම දශකය තුළදී ඉහළ මධ්‍යම ආදායම් මට්ටම කරා ළඟා වීමේ රජයේ ප‍්‍රයත්නය, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ බලශක්තියෙහි කාර්යභාරය තීව‍්‍ර කරනු ඇත. දශක තුනක දීර්ඝ ගැටුමකින් පසු ප‍්‍රගතිශීලී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කරා යන ජාතියක් ලෙස, වර්ධනාත්මක ප‍්‍රවේශයක් හා සැසඳීමේදී සංවර්ධනය සඳහා සාකල්‍ය ප‍්‍රවේශය වඩා සුදුසු වේ. ඒ සඳහා සමාජ සහ ආර්ථික සංවර්ධන අභිමතාර්ථ සමඟ අනුරූප වන බලශක්ති ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වේ.

රුපියල් දශ ලක්‍ෂයක දළ දේශීය නිෂ්පාදනයක් කිරීම සඳහා ටෙරා ජූල් 0.47ක වාණිජ බලශක්තියක් භාවිතා කරමින් ශ‍්‍රී ලංකාව සාපේක්‍ෂ වශයෙන් අඩු බලශක්ති තීව‍්‍රතාවයක් පවත්වාගෙන යයි . ආර්ථික වර්ධන වේගය වැඩි කරමින් අඩු බලශක්ති තීව‍්‍රතාවයක් පවත්වා ගැනීම ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගයක් වේ. ශ‍්‍රී ලංකාව නුදුරේදීම 100%ක විදුලියනය කරා ලඟා වනු ඇති අතර එමඟින් සියලු පුරවැසියන්ට ඉහළ මට්ටමේ බලශක්තීන් ලබාදීමේ අභිමතාර්ථය සාක්ෂාත් කරගනු ඇත.

ආර්ථික වර්ධනය උදෙසා මෙන්ම, සියලූම ජනතාවට ජාලගත බලශක්තිය ලබා දීම සඳහා බලශක්ති සැපයීමේ ධාරිතාවයන් නිරන්තරයෙන් ඉහළ නැංවීම අවශ්‍ය වේ. ඉල්ලූමෙහි වර්ධනය, බලශක්ති පරිවර්තන කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමෙන්ද පාලනය කළ හැකි වේ. අඩු බලශක්ති තීව‍්‍රතාවයක් පවත්වා ගැනීම සඳහා දරනු ලබන අඛණ්ඩ උත්සාහයන් ආර්ථිකය සහ පරිසරය මත අඩු භාරයක් ඇති කරනු ඇත. ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම මෙම අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ප‍්‍රතිපත්ති මත දිවෙන අනුබලයන් හරහා ඉල්ලූම්-පාර්ශව කළමනාකරණය මත වැඩි ප‍්‍රයත්නයක් දැරීම අවශ්‍ය වේ.

වාණිජ බලශක්තිය වැඩියෙන්ම භාවිතා කරන අංශය වන ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයෙහි ඵලදායීව බලශක්තිය කළමනාකරණය සිදු කිරීම සඳහා ප‍්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය සහ ප‍්‍රතිපත්තිමය මැදිහත්වීම තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන හැර වෙනත් ආකාරයේ බලශක්ති භාවිතා කිරීම උනන්දු කරවීම මෙන්ම වඩාත් කාර්යක්‍ෂම පද්ධති කරා ප‍්‍රවාහන ක‍්‍රමවේද පරිවර්තනය කිරීම අවශ්‍ය වේ.

ගෘහස්ත බලශක්ති භාවිතය ඛනිජ ඉන්ධන කරා යොමුවීමත්, එමෙන්ම දැනටමත් ජල විදුලි විභවය මුළුමනින්ම පාහේ සංවර්ධනය කොට ඇති නිසාත් සියලු ආකාරයේ බලශක්ති සඳහා වර්ධනය වන ඉල්ලූම ඛනිජ ඉන්ධන මඟින් සපුරා ගැනීම නිසා දිවයිනෙහි මූලික බලශක්ති එකතුවෙහි සාපේක්‍ෂ වශයෙන් ඉහළ වූ පුනර්ජනනීය බලශක්ති භූමිකාව ක‍්‍රමයෙන් ක්‍ෂය වී ඇත. ජල සම්පත් විවිධ අවශ්‍යතාවයන් සපුරාලන අතර, පානීය ජලය සහ කෘෂිකාර්මික ඉල්ලූමට වඩා අඩු ප‍්‍රමුඛතාවයක් ජල විදුලියට හිමි වේ. එම තත්ත්වය යටතේ මහවැලි දෙවන අදියර සංවර්ධනය වැනි ව්‍යාපෘති හා සම්බන්ධ ගැටලූ තව දුරටත් සංකීර්ණත්වයට පත් වී ඇත. මූලික බලශක්ති සැපයුමෙහි පසුගිය දශකයේදී පවත්වා ගත් 55%ක මට්ටමේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය ආරක්‍ෂා කර ගැනීමටත් තව දුරටත් වර්ධනය කිරීම සඳහාත් ප‍්‍රතිපත්තියෙහි සුසමාදර්ශී වෙනසක් අපේක්‍ෂා කෙරේ.

සමාජ වෙළඳපොළ ආර්ථිකයට අවශ්‍ය බලශක්තිය සැපයීම සඳහා විවිධ බලශක්ති මූලාශ‍්‍රයන්ගෙන් විශ්වාසදායී, පිරිවැය-ඵලදායී සහ තරඟකාරී ලෙස මිල නියම කරන ලද බලශක්ති සේවාවන් ලබාදීම සහතික කිරීම සඳහා බලශක්ති ක්ෂේත‍්‍රය සංවර්ධනය සහ කළමනාකරණය කිරීමේ අභියෝගයට මුහුණ දීමට ශ‍්‍රී ලංකාව සැලසුම් කරන්නේ කවර ආකාරයෙන් ද යන්න මෙම ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය සහ උපාය මාර්ග මගින් ඉදිරිපත් කරනු ලැබේ.

විවිධ ගැඹුරු මූලයන්ගෙන් ලැබුණු ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් පසුගිය දශක කිහිපයේදී ශ‍්‍රී ලංකාව බලශක්ති අර්බුදයන්ට සාර්ථකව මුහුණ දී ඇත. ඉහළ ජෛවස්කන්ධ සම්පත් භාවිතය, වර්ෂය පුරා ලැබෙන සූර්යාලෝකය සහ අධික වර්ෂාපතනය සමඟ සම්බන්ධ වූ ජනතාවගේ සරල ජීවන රටාව සහ දිවයිනෙහි කුඩා භූ ගෝලීය වපසරිය මෙම මූලයන් ලෙස හඳුනාගත හැකිය.

මෙම ගැඹුරු මූලයන්ගෙන් ජාතික ආර්ථිකය පෝෂණය කර, අඛණ්ඩ සැපයුමක් සමඟින් මුළු දිවයිනටම සේවා සැපයීම සඳහා ජාතික විදුලිබල සැපයුම ව්‍යාප්ත කිරීම හරහා ඒ සම්බන්ධ කලාපයෙහි පුරෝගාමීයා වීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත. අවම බලශක්ති යෙදවුමක් සමඟින් දිවයිනට වඩාත් වැඩි ආර්ථික ප‍්‍රතිලාභ අත්පත් කර දෙමින් බලශක්ති පද්ධතිවල විශ්වාසදායිත්වය හරහා සේවා අංශය දිවයිනට ආකර්ෂණය කරගෙන ඇත. ආර්ථිකයෙහි බලශක්ති තීව‍්‍රතාවය අධික වර්ධනයක් සහිත සංවර්ධනය වන වෙනත් ආර්ථිකයන්ට වෙනස් වෙමින් ආර්ථිකයෙහි ව්‍යුහාත්මක වෙනස්වීමක් සිදු කර ඇත.

දේශීය සහ ගෝලීය බලශක්ති සැපයුම්වල විශ්වසනීයත්වය සහ දැරිය හැකි මිලකට බලශක්තිය ලබා ගැනීමේ හැකියාව, පරිවර්තනය වෙමින් පවතින මෙම ආර්ථිකයෙහි වඩාත් වැදගත් පැතිකඩ වනු ඇත. විදුලි ජනනය සඳහා සුළං සහ සූර්ය බලය වැනි මෑත කාලය තුළවැඩි දියුණු වූ ඉහළ තරඟකාරීත්වයක් සහිත සම්පත් සංවර්ධනය කිරීම වඩාත් අවධාරණය කරනු ලබන අනාගතයක් සඳහා අපි පෙර මඟ බලා සිටිමු. වඩාත් වැදගත් බලශක්ති සම්පතක් වන ජෛව ස්කන්ධ, ගෘහස්ත භාවිතය සඳහා පහසු ඉන්ධනයක් ලෙස පරිවර්තනය වීම සිදු කිරීමෙන් සහ කර්මාන්ත තාප බලශක්ති සැපයුම සඳහා විශ්වාසය තැබිය හැකි සම්පතක් ලෙස වර්ධනය කිරීමෙන් වඩාත් වැඩි වටිනාකමක් සහිත කාර්යභාරයක් ඉටු කරනු ඇත.

විශාල වශයෙන් දේශීය සම්පත් භාවිතා කිරීම සඳහා උපාය මාර්ග සහ පරිවර්තන තාක්‍ෂණ සකස් කිරීමෙන් ශ‍්‍රී ලංකාව, ‘බලශක්තියෙන් බලගැන්වුණු ජාතියක්’ ලෙස නැගී සිටීමට අපේක්‍ෂා කෙරේ. බලශක්ති මූලාශ‍්‍ර අන්තයේ සම්පත් සංවර්ධනයෙහි සිට පරිභෝජන අන්තයේ විවිධාංගිකරණයක් කරා ඛනිජ තෙල් අංශය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ ප‍්‍රයත්නයන් දරනු ලබන අතරම, ප‍්‍රධාන බලශක්ති වාහකයා ලෙස විදුලි බලයෙහි තත්ත්වය ඉහළ නැංවීම සඳහා මුලපිරීම් සිදු කරනු ඇත. ප‍්‍රවාහන අංශයෙහි ද්‍රව ඛනිජ ඉන්ධන ආධිපත්‍යයෙහි සිට වෙනත් බලශක්ති මූලාශ‍්‍රයන් කරා පරිවර්තනය වෙමින් දේශීය සම්පත් වඩාත් ඉහළ මට්ටමින් උකහා ගනිමින් නව බලශක්ති වාහක ගවේෂණයෙහි විදුලිය ප‍්‍රධාන ස්ථානයක් හිමිකර ගනු ඇත. ස්වභාවික වායූ පර්යන්ත, උත්පාදන ප‍්‍රදේශ සහ සම්පේ‍්‍රෂණ මාර්ග වැනි වැදගත් බලශක්ති යටිතල ව්‍යුහ සඳහා ඉඩම් සම්පත් ආරක්‍ෂා කර ගනිමින්, පාරම්පරික බලශක්ති පද්ධති අවහිර කළ කාල අවකාශ සීමා ඉක්මවා යෑම සඳහා බලශක්ති ගබඩා කිරීම ප‍්‍රධාන වාහකය ලෙස පිළිගැනෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ සත්වන තිරසර සංවර්ධන අභිමතාර්ථය සමඟ පෙළ ගැසෙමින් ශ‍්‍රී ලංකාව, වර්ෂ 2020 වන විට, එනම් අපේක්‍ෂිත වර්ෂයකට දශකයක් කලින් සියලූම ජනතාවට බලශක්තිය ලබාදීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ප‍්‍රතිපත්තිය දායක වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික බලශක්ති සැපයුම තුළ ඛනිජ ඉන්ධන දායකත්වය 50%කට අඩු කිරීම සඳහා මෙන්ම වර්ෂ 2030 වන විට සියළු බලශක්ති යෙදවුම්වල විශිෂ්ට බලශක්ති භාවිතය 2015 පැවති මට්ටමින් 20% කින් අඩු කිරීමටද මෙම ප‍්‍රතිපත්තියෙන් දායකත්වය දක්වනු ඇත. මෙම ප‍්‍රතිපත්තිය විසින් වසර 2050 දී අත්කර ගැනීමට නියමිත රටේ අංගාර තුලනය මෙන්ම සියළු බලශක්ති සැපයුම් ජාලයන්ගේ පූර්ණ සංක‍්‍රාන්තිය වෙත ඇරඹෙන දිගු ගමනට ද මංපෙත් හෙළි කරනු ඇත.

මෙම ප‍්‍රතිපත්තිය විසින් පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණ දේශීය වෙළඳපොළට සපයමින් ප‍්‍රධාන නිෂ්පාදන කර්මාන්ත පිහිටුවීම සඳහා අවශ්‍ය අවකාශය සපයනු ඇති අතර එක්සත් ජාතීන්ගේ සත්වන සංවර්ධන අභිමතාර්ථය අනුව යමින් දැනුම සහ පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණ සම්පාදනය කිරීමෙන් දකුණු-දකුණු සහයෝගීතාව තුළින් වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ නව සංධාන ගොඩනගනු ඇත.

මෙම ප‍්‍රතිපත්ති ලේඛනය කොටස් තුනකින් සමන්විතය. ඒ මූලයන් දහයකින් යුතු ප‍්‍රතිපත්ති රාමුව ප‍්‍රකාශ කරමින් ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය ලෙස ද, ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ ක‍්‍රමෝපායන් විදහා දක්වමින් ක‍්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග ලෙස ද, නිශ්චිත ක‍්‍රියාමාර්ග, ඉලක්ක සපුරාගන්නා කාලසටහන් මෙන්ම වගකිව යුතු ආයතන ද විස්තර කරමින් කාර්යසාධන කාලරාමුව ද වශයෙනි.

මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් විවිධ අවස්ථාවන්හි දී ප‍්‍රකාශයට පත්කරනු ලැබූ සියලු ප‍්‍රතිපත්ති, උපායමාර්ග, සැලසුම් සහ මාර්ගෝපදේශ ප‍්‍රතිස්ථාපනය කෙරේ. බාහිර පරිසරයේ සිදුවිය හැකි සැලකිය යුතු වෙනස්වීම්වලට අනුගතවීම පිණිස සමාලෝචනයන් සිදුකරන තෙක් මෙම ලේඛනය බලපැවැත්වෙනු ඇත. මෙම ප‍්‍රකාශනය අවම වශයෙන් සය වසරකට වරක් හෝ එවැනි සමාලෝචනයකට භාජනය වනු ඇතx මෙයට සම්බන්ධිත කාර්යාසාධන කාලරාමුව සෑම  වසර දෙකකට වරක්ම සංශෝධනය කෙරෙනු ඇත.

  1. ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය

ශ‍්‍රී ලංකාවේ සමානාත්මතා සමාජ සංවර්ධනයට උරදෙනු වස්, භාවිතයට පහසු ආකාරයේ බලශක්ති සේවාවන් පහසු මිළකට සැපයීම සඳහා, පිවිතුරු, සුරක්‍ෂිත, විශ්වසනීය මෙන්ම ආර්ථික ශක්‍යතාවය සහිත බලශක්ති සැපයුමක් පවත්වා ගැනීම සහතික කිරීම බලශක්ති ප‍්‍රතිපත්තියෙහි මූලික අරමුණ වේ. 2009 අංක 20 දරණ පනත යටතේ අවශ්‍යතාවයක් වන ‘විදුලි කර්මාන්තය පිළිබඳ පොදු ප‍්‍රතිපත්ති මාර්ගෝපදේශ’ වැනි එක් එක් ක්ෂේත‍්‍රය සඳහා ව්‍යාවස්ථාපිතව නිකුත් කළ යුතු ප‍්‍රතිපත්තිමය මාර්ගෝපදේශ මෙම ප‍්‍රතිපත්තිය පදනම්ව සම්පාදනය කොට නිකුත් කිරීමට අපේක්‍ෂා කෙරේ. මූලයන් දහයක් මත පදනම් වී ඇති මෙම ප‍්‍රතිපත්තිය සමාජ, ආර්ථික හා පාරිසරික  බලපෑම් කළ හැකි පෘථුල වපසරියක ව්‍යාප්තව ඇත.

බලශක්ති ත්‍රෛකෝටිකය ලෙස හඳුනාගත හැකි සුරක්‍ෂිතතාවයේ සමානාත්මතාවයේ සහ සුනිත්‍යභාවයේ මෘදු සංකලනයෙන් ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් ඉවත් වෙමින් සිටින බව දක්නට ලැබේ. මූලයන් දහයක් මත පදනම් වී ඇති මෙම ප‍්‍රතිපත්තිය සමාජ, ආර්ථික හා පාරිසරික  බලපෑම් කළ හැකි පෘථුල වපසරියක ව්‍යාප්තව ඇත්තේ එම බලවේග පාලනය කොට සාමානාත්මතාව, සුරක්‍ෂිතතාව  සහ සුනිත්‍යභාවය හරහා එකී ත්‍රෛකෝටික බලරාමුව තුලනය කරගැනුමටය.

  1. බලශක්ති සුරක්ෂිතතාවය සහතික කිරීම
  2. බලශක්ති සේවා සම්පාදනය
  3. ජාතික ආර්ථිකයට ප‍්‍රශස්ත පිරිවැයකට බලශක්ති සේවාවන් සැපයීම
  4. බලශක්ති කාර්යක්‍ෂමතාවය සහ සංරක්‍ෂණය වැඩි දියුණු කිරීම
  5. බලශක්ති ස්වාධීනත්වය ඉහළ නැංවීම
  6. පරිසරය සුරැකීම
  7. පුනර්ජනනීය බලශක්තියෙහි දායකත්වය ඉහළ නැංවීම
  8. බලශක්ති ක්ෂේත‍්‍රයේ යහපාලනය ශක්තිමත් කිරීම
  9. අනාගත බලශක්ති යටිතල ව්‍යුහ සඳහා ඉඩම් සුරක්‍ෂිත කිරීම
  10. නව්‍යකරණය සහ ව්‍යවසායකත්වය සඳහා අවස්ථාවන් සැපයීම

මෙම සංකල්පය රූපසටහනක් මාර්ගයෙන් පහත දක්වා ඇත.

 
 

 

 

 

View the full document in PDF format