• ජනවාරි 29, 2025
  • vidura
  • 0

ලංකා විදුලිබල මණ්ඩලයේ සබරගමුව බෙදාහැරීමේ  නඩත්තු අංශයේ සේවය කරමින් සිටියදී  පසුගිය 25 වන දින සෙවනගල ප්‍රදේශයේ නඩත්තු කටයුත්තකදී ඇති වූ හදිසි අනතුරකින් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වියෝවු කාර්මික සහායක ජනක ප්‍රියන්ත මහතාගේ අභාවය පිළිබඳ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටීයි.

එමෙන්ම එම අනතුරින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන කණිෂ්ඨ කාර්මික සහායක එස්. ඒ. අජිත් කුමාර මහතාට සහ ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැරව සිටින පුහුණු කාර්මික ඩී. එච්. සමන්ත පුෂ්පකුමාර මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියි.

තවද අමාත්‍යවරයා මෙම හදිසි අනතුර පිළිබඳව දැනගත් විගස ලංකා විදුලිබල මණඩලයේ අදාළ ඉහළ නිලධාරීන් කැඳවා අනතුරට ලක්වූවන් හට අවශ්‍ය ප්‍රතිකාර සදහා පහසුකම් හා අවශ්‍ය ආධාර උපකාර ලබා දෙන ලෙස උපදෙස් දුන් අතර මේ අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය නම් විශේෂඥ සහය හා දායකත්වය විදුලිබල මණ්ඩලයට පිටතින්ද ලබා ගන්නා ලෙසත්  උපදෙස් ලබා දෙන ලදි.

මෙවන් අනතුරු ඉදිරියේදි සිදු නොවීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙසද දැනට  විදුලිබල මණ්ඩලය සන්තකයේ ඇති සියළු විදුලි කණු වල යෝග්‍යතාවය පිළබඳවද විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසද, එයට අමතරව දැනට විදුලි කණු වල යෝග්‍යතාව පරීක්ෂා කරන ක්‍රමවේදය යළි සළකා බැලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද විදුලිබල මණ්ඩලයේ අදාළ නිළධාරීන්ට අමාත්‍යවරයා විශේෂයෙන් උපදෙස් ලබාදී ඇත.