ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යංශයට සුභාශිංසනය හා සහයෝගය පළ කරමින් කරුණු දැක්වූ තානාපතිනී මියෝන් ලී මහත්මිය කොරියාව පොදුවේ බලශක්ති ක්ෂේත්‍රයෙත් විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලබා ඇති දියුණුව සහ ජයග්‍රහනයන් පිළිබද කරුණු දක්වමින් සමීප මිත්‍ර රටක් ලෙස විශාල ජනතා ප්‍රසාදයකින් පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සුබ පැතුම් එක් කළ අතර, කොරියානු රජය හා පුද්ගලික අංශයත් නව රජය සමග වඩාත් සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවාය. විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ නව රජයේ අරමුණු ජයගැනීම පිණිස උපරිම සහය ලබාදෙන බවද ප්‍රකාශ කළාය.

අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කරුණු දක්වමින් දකුණු කොරියාව ඉතා දුෂ්කර කාලපරිච්ඡේද අභිබවමින් අද ලබා ඇති දියුණුව, අභියෝගාත්මක තත්වයන් පසුකරමින් ජයග්‍රාහී මාවතකට පිළිපන්ව සිටින ලාංකික අපටත් ආදර්ශයක් හා සවියක් වන බව පැවසීය. කොරියානු රජයේත් පුද්ගලික අංශයෙත් සෘජු ආයෝජන හා ඒකාබද්ධ ව්‍යාපෘති අපේක්ෂා කරන බවත් නව රජයේ දූෂණයෙන් තොර විනිවිද පෙනෙන සුළු ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධිත සියලුදෙනාට උපරිම ප්‍රතිලාභ ලබාදෙනු ඇති බවත් පැවසීය. තවද ප්‍රසිද්ධ දකුණු කොරියානු සමාගමක සේවය කිරීමත් කොරියාවේ සංචාරය කිරීමත් තුළින් තමාට කොරියානුවන්ගේ දක්ෂකම් විනයගරුක බව හා කැපවීම හදුනාගැනීමට අවස්ථාව ලද බවත් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට හා අනෙකුත් ක්ෂේත්‍ර වලට දක්වන සහයෝගයට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළේය.