විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂනයට සහභාගිවිනැයි වැඩ තහනම්  කර මර්ධනයට ලක් කර යළි සේවයේ පිහිටවූ සේවකයන් හැටදෙදෙනකෙුගේ (62) අහිමි කර තිබූ වරප්‍රසාද යළි ලබාදීම, දඩුවම් මාරු අවලංගු කිරීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකින් සිදුකෙරුණු අතර එම ‍සේවකයෝ අද දින (24) ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී අමාත්‍යවරයා හමුවූහ.


අමාත්‍යවරයාගේ විදුලිබල මණ්ඩල මූලස්ථාන නිරීක්ෂණ චාරිකාවේ එක් අංගයක් ලෙස එම සේවකයින් පිරිසක් හමුවූ අතර එහිදී කරුණු දැක්වූ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආයතනයට වැදගත් සම්පතක් කොට සලකන බවත් ආයතනය රැකගැනීම වෙනුවෙන් උද්ඝෝෂනය කළ සටන් කළ සේවකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට ලැබීම සතුටක් බවත් සේවක ඔබ සටන් කළේ විදුලිබල මණ්ඩලය රැකගැනීම වෙනුවෙන් බව දන්නා බවත් ප්‍රකාශ කළේය. පසුගිය රජය රටේ දේපල රිසිසේ විකුණා දැමීම පිණිස ගත් වැඩපිළිවෙල පරාජය කිරීමට ලැබීම මේ රටේ ජනතාව ලැබූ ජයග්‍රහනයක් බවත් ජාතික ජනබලවේග නව රජය මේ රටේ ජාතික සම්පත් රැකගැනීම අරමුණු කරගත් එකක් බවත් ආයතනය රැකගනිමින් දියුණු කරගැනීමට කටයුතු කරන්නට සියළුදෙනා සාමූහිකව එක්ව කටයුතු කළයුතු බවත් තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සහභාගිවූ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පසුගිය රජය විදුලිබල මණ්ඩලය කොටස් කර විකුණා දැමීමට පනත් සම්මත කර ගත්තත් විදුලිබල මණ්ඩලයේත් මේ රටේත් වැඩ කරන ජනතාව එම රජයත් පළවා හරිමින් එම වැඩ පිළිවෙල පරාජය කළ බවත් එම ජයග්‍රහනය රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේද උසස් ජයග්‍රහනයක් වන බවත්ය. නීත්‍යානුකූල උද්ඝෝෂණයක් අත්තනෝමතික ලෙස මර්ධනය කරමින් විදුලිබල සේවකයින් හැටදෙදෙනෙකුගේ (62) සේවය තහනම් කරන්නට එවකට රජයත් එවකට ඇමතිවරයත් කටයුතු කළත් අද ඔවුන්ට සාධාරණය ඉෂ්ඨකරන්නට මැදිහත්වීමට ලැබීම ලංකා විදුලි සේවක සංගමය ඇතුළු විදුලිබල වෘත්තීය සමිති වලද ජයග්‍රහනයක් බවත් ඔහු වැඩිදුරටත් කීය.

මෙහිදී සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කර නැවත ලංවිම සේවයේ පිහිටුවනු ලැබූ සේවකයන්, තමන්ව නැවත සේවයේ පිහිටුවනු ලැබීම හා අත්හිටවූ වරප්‍රසාද යළි  ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නව රජයට, අමාත්‍යවරයාට හා ලංවිම පාලන අධිකාරිය වෙත ඔවුන්ගේ කෘතඥතාවය පලකරන ලදී.

සේවකයින් සමඟ පැවති එම හමුවෙන් අනතුරුව ගරු අමාත්‍යතුමා, ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි, ඉංජිනේරු. ඩබ්ලිව්. එදුස්සූරිය මහතා ප්‍රමුඛ ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මණ්ඩලයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වන ලදී.