ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ විය. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍යය තාක්ෂණික හා අනෙකුත් සහයන් ලබාදීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන බවත් ඉහළම ජනප්‍රසාදයකින් බලවත් ජනවරමක් ලබා ඇති නව රජය ලාංකීය ජනතා අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කරන බවත් ඒ සදහා ඇමරිකානු රජයේ සහය ලැබෙනු ඇති බවත් ඇමරිකානු තානාපතිතුමිය ප්‍රකාශ කළාය.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නව රජයේ බලශක්ති ප්‍රතිපත්තිය හා බලශක්තිය පිළිබද දැක්ම විස්තර කළ අතර විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්‍රය සදහා ඇමරිකානු රජයේ සහය අපේක්ෂා කරන බවද සුවිශේෂි මිතුරු රටක් ලෙස ඇමරිකානු මිත්‍රත්වය සහ සහය ඉහළින්ම අගය කරන බවද ප්‍රකාශ කර සිටියේය.

කොළඹ 07, අර්නස්ට් සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යංශ කාර්යාලයේ පැවති මෙම හමුවට ඇමරිකානු තානාපතිනියට අමතරව USAID ආර්ථික සංවර්ධන කාර්යාලයේ ව්‍යාපෘති සංවර්ධන විශේෂඥ රොසෑන් කෘෘස් මොරායස් (Rozanne Croos Moraes)  (USAID Project Development Specialist (Energy) – Office of Economic Growth) මහත්මියද බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය K.T.M. උදයංග හේමපාල, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D.A. රාජකරුණා, ඛනිජ තෙල් සංස්ථාවේ කළමාණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ යන මහත්වරුන් සමඟ විදුලි හා විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතාද සහභාගි විය.